Wednesday, 27 December 2017

ආදර ප්‍රදී 7

ආදර ප්‍රදී
7 වන කොටස




පාසල් විවේකය තවත් එක් සාහිත්‍ය කාලච්ඡේදයක් වන්නේ විවිධ විෂයයන් උගන්වන ගුරුවරුන් කිහිප පොලක් ම කුඩා ආපන ශාලවට රැස් වූ විට යි. එකිනෙකා ගේ දැනුම නොදැනුවත්ම බෙදී විසිරී තේ සුවඳත් වඩේ කර රසත් සමඟින් මුසු වී යන මේ විනාඩි 15ක කාලය ගෙවී යනවා නොදැනේ.


අඩි දහයක් පමණ දිග , අඩි හතරක් පමණ පළල සිහින් තීරුවක තබනා ලද පැරණි උසැති බංකු මේසයක් , ඒ මේසය එක් පස තබා ඇති එවැනිම දිගැති කොට බංකුවක් , අනිත් පස ඇති ඉවත් කරන ලද සිසු පුටු හතරත් විවේකෙ කාලයේ දී ආපන ශාලාවට එන සියළු ගුරුවරුන්ට අසුන් ගැනීමට මදි වූ ඉඩ කඩ වූව ද කිසිවෙකුත් කිසිවෙක්ට දොස් නොකියා ගතවූ කාලච්ඡේද හතරෙහි වියළී ගිය උතුර තේ කහට උණුසුමින් සතපා ගනියි.


“ අපි තේ බොනවා “ කොතරම් දෙනා සිටියත් ගවු ගනනක් දුර සිටිනා ඔහුට මම කෙටි පණිඩියක් තැබුවේ දකුණු අතේ ඇගිලි දෙකක ගුලිකර ගත් හකුරු ගොට්ට සීරුවට සමතුලිත කර ගනිමිනි.


“ ඔයා ගෙ අර ප්‍රදී කතාව දැන් ලියන්නෙ නැතෙයි “ මට කෙලින්ම බංකු මේසය එහා පැත්තේ පුටුවක වාඩි වී සිටි ගුරුතුමිය අසයි. 


පළමුව දැනුන ලැජ්ජාව වසන් කර ගනිමින් “ අයියෝ ...මිසුත් ඒක කියවනවා දැයි මම අසමි “


“ ඔවු ..... ඔයා ඒ ලියන්නේ කාගෙ හරි ඇත්ත කතාවක් ද ?“ ඇය මා දිරිමත් කරමින් අසන්නීය.


“ඔවු .............. මේ ඉන්නෙ එයා .................“ ඒ වන විටද මා අතැගිලි යටට වී තිබූ දුරකතනයේ වූ ඔබේ පින්තූරයක් මම ඇයට පෙන්වමි.


“ කතාවෙ කියල තියන විදිහට මම හිතුවා ලස්සන කෙනෙක් කියලා. ඒ විදිහටම ඉන්නවා “ ඇය පවසන්නේ ඔබේ කඩවසම් මුහුණ දෙස හොඳින් බලමිනි.


“ දැන් මෙයා බැඳල ඉන්නෙ ප්‍රදී ව ද?“ ඇය යළිත් අසයි. 


ආදර ප්‍රදී ලියන්නට මා ඇඟිලි කලකින් නොනැමුනේ ඇයි දැයි එවිට මට සිතේ. එය මා සිත අරක් ගත් එක්තාර ආකරයක ගැහැණු ඉරිසියාවක් වන්නට ද බැරි නැත.


නමුත් නතර කර තැන් පටන් මම නැවත කෙසේ එය ගොතන්නට පටන් ගැනීම අරබන්නේ දැයි මේ වනතුරුද හිතට නිච්චියක් නැත. නමුත් මේ වන විට ද ඇරඹුමක් ලැබී ඇති එහි අවසානයක් දකින තුරු මා ඔබට දුන් පොරොන්දුව අවසන් නොවනු ඇත.
--------------------------------------

තරමක අවුල් වී ගිය හිස කෙස් ය , රැවුල හොඳටම වැවී ඇති අතර ට්‍රිමරයක පහස කලකින් ලැබී නොමැති බවක් හැඟේ. තැනින් තැන සුදු වී ගෙන එන අලුත් කෙස් ගස් ය. කළු කෙස් විරාජමානව වැජඹුනත් , තැන තැන හිස ඔසවමින් සිටිනා සුදු වුන් ඒ මුහුණට අනවශ්‍ය මුහුකුරායමක් එක් කිරීමට තැත් කරයි.


රැවුල් ගස් අතරින් සොයා ගත් ඒ දොතොලෙහි සිනාවක අතීත ලකුණක්වත් දැකිය නොහැකි තරමට ගල්වී ඇත. මුහුණෙහි හැඟීම් කියවා ගැනීමට නොහැකි තරමට අජීවී බවින් පිරී ඇත. කණ්නාඩි දෙකෙන් වසන් වී ඇති දෑස් මේසය මත ඇති සුදු කොළයේ කළු අකුරු වලින් එහා මහා කළු කුහරයක නතර වී ඇති බැවක් හැඟේ.


අතෙහි නිතර රැදෙනා කළු තීන්ත පෑන පසෙකින් තැබූ ඔහු තමා ආසන්නයේ ඇති මේස ඇන්ද දෑතින්ම අල්ලා ගෙන සිටිමින් මද කල්පනාවක නිරත වී සිට , කුමක් හෝ සිතන්නටත් කලියෙන්ම තමා කෙලින්ම තිබූ මේස ලාච්චුව අරින්නට වූයේ හඬ නොනැගෙනා ලෙස සීරුවට නම් නොවේ. 


ලාච්චුව අරින හඬින් ගැස්සී ගිය ඔහුගේ දකුණු පස වූ මේසය අසල වූ සුදු හීන්දෑරි යුවතිය කරමින් සිටි වැඩය නවතා ඔහු දෙස බැලූවත් ඔහුට ඒ වගක් වත් නොවීය.


හැරුන මේස ලාච්චුව ඔහුගේ ඉදිරියට ඒමට පටන් ගනිමින් තිබූ කුසෙහි වැදී නරත වී තිබූ අතර මේස ලාච්චුවට අත දැමූ ඔහු ඉතා සීරුවට එයින් එළියට ගත්තේ 4ආර් තරමේ පින්තූරයකි.


එදෙස බලා සිටිනා ඔහුගේ මුහුණේ තදැතිව තිබූ පේශි ලිහිල් ව යනු පෙනෙනු ඇත.වියළිව ගොස් තිබූ දෑස් තෙත්ව දිලිසෙනු දැකිය හැකි වනු ඇත.දෙතොල් මදහසත් , අමනාපයත් අතර තැනක නැවතෙනු පෙනෙනු ඇත. 


අද මේ දැන් සිට දින කිහිපයක්ඔහු කිසිවෙක් සමඟින් කතා නොකරන බවත් මුම්බාගත් වනම සිටිනා බවත් ඔහුගේ ඔෆීසි කාමරයේ සිටින සුදු හීන්දැරි ගැහැණු ළමයා අත්දැකීමෙන් දනී. ඇය ඔහුගේ පුද්ගලික ලේකම්වරියයි.


මෙය ඉවසිය නොහැකි වූ එක් දිනක් , ඇය සැමට රහසේ ඔහුගේ මේස ලාච්චුව හැර , තම ප්‍රධානියා දුක්බරිත කරවන ඒ අපූරු වස්තුව කුමක්දැයි සොයා ගත්තාය.


කළු සුදු ඡායාරූපයක් වූ එහි සිටියේ ඉතාම කෙසඟ සිරුරකට හිමිකම් පෑ තළෙලු යැයි සිතිය හැකි තරුණියකි. ඇගේ දෑස් ඉතාම සෝබමාන විය . කොණ්ඩය කෙටි වූ අතර තරමක් කැරලි ගැසී තිබුනි. බැලූ බැල්මට ඇගේ ප්‍රධානියාත් , ප්‍රධානියා දින ගණකකට ගොළු කර තබනා ඡායාරූපයේ සිටින තරුණියත් එක හා සමාන හැඩරුවින් යුතු බැව් ඇයට සිතුණි. කෙසේ වුවත් ඔහු පැමිණෙන්ට පෙර වහාම මෙය විනාශ කර දැමිය යුතුබැව් හැගුන බැවින් ඉතා කුඩා කැබලි වලට ඉරන ලද ඡායාරූපය ඉන් පසු ගිනිදෙවියා වෙත පුදන්නට යෙදුනි.


--------------------------


“ අයියෝ .............ඇයි එයා ඒක පිච්චුවේ “ දැන් මට එයා කළු ද සුදු ද කියලවත් බලා ගන්න නෑනේ . කවුද ඇත්තටම ඒ පින්තූරෙ හිටියෙ ? 


“ ප්‍රදී “


“ මොනවා ...............?“


“ ඉතින් ඇයි ඔයාගේ සෙක්‍රරටරි ඒ පින්තූරය පුච්චල දැම්මේ ?“


“ ඒ වෙද්දි මම කසාද බැදල නිසා.මට දරුවො ඉන්න නිසා.පින්තූරෙ බැලුවට පස්සෙ දවස් ගානක් කතා නොකර බුම්මන් ඉන්න නිසා “


“ ඒ කියන්නේ............ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ප්‍රදීව හමුවුනේ නැද්ද ඔයා “

“ හමුවුනා........ අපි ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙත් එයා මට දිගටම ලිවුවා. “

“ මට දෙන්න කො ඒ ලියුම් “

“ ඒ ලියුම් ටිකත් අර ෆොටෝ එකත් එක්කම අර කෙල්ල පුච්චල දැම්මා “

“ හ්ම් .....................“

“ ප්‍රදී ........ විභාගෙන් පස්සෙ එයාගේ අම්මල ලඟට ගියා. ගියා නෙමේ ...ඇත්තටම එයාට යන්න සිද්ධ වුනා. එයාගේ තාත්තයි අම්මයි වෙන් වෙලා හිටියෙ කියල මම ඔයාට කියල ඇති නේ. තාත්ත ළඟ එයා හිටියේ. ඒත් .........එයාගේ අවාසනාවට වගේ තාත්තත් නැති වුනා ........ ඊට පස්සෙ එයා එයාගෙ අම්ම ළඟට ගියා “

“ අම්ම ළඟට ..........ඉතින් හොඳයි නෙ. කෙල්ලෙක්ට අම්ම ළඟ ඉන්න තියනම් කොච්චර හො දද ?“

“ අම්ම ........ ආයපු කසාඳ බැදල හිටියෙ. ඒ මනුස්සය මිනීමරුවෙක් ද කොහෙ ද ? ප්‍රදීටත් ඒ මිනිහගෙන් කරදර තිබ්බා . . . . කොහොම වුනත් ප්‍රදීට මගෙ අතින් වුනේ ආපහු කවදාවත් හදන්න බැරි වරදක් ........ “

“ ඔයා ප්‍රදීප බලන්න ගියා ද?“

“ ඔවු .......... එක ලස්සන වෙසක් පෝය දවසක් අල්ලල මම ගියා එයා බලන්න “


ඒ ගමන ගැන දැන ගන්න නම් ඊළඟ කොටස කියවන්න වෙනවා....

ආදර ප්‍රදී 8

ආදර ප්‍රදී
8 වන කොටස


“ උඹ මගෙ කතාව වෙනස් කරනවා “ ඒක නම් කීවෙ ටිකක් විතර නොරිස්සුමෙන්මයි.


“ අනික ......... උඹ දැන් මගෙ කතාව ලියනෙක දවසින් දවස පහු කරනවා “ නොරිස්සුමට තවත් ටිකක් ඔහු එකතු කලා.


“ ඇත්ත ට ........... මට ඉරිසියයි.ඒකයි නොලියන්නේ “ අත් දෙක පිටිපස්සට කරල බංකුවට බර දීලා හිටපු මම දකුණු පැත්තෙ උරහිස පද්දල අරන් ඔහුගෙ උරහිසෙ වද්දන ගමන් කීවේ , ඒ කතාව වැඩිය සීරියස් ගන්නෙ නැති විදිහට. ඒත් දැන් බලද්දි ඇත්තටම මට “ප්‍රදී “ ගැන හරිම ඉරිසියාවක් ඇති වෙමින් තියනව වගේ


“ උඹ මගෙ කතාවේ කොටසක්ම නැති කරල දාලා “


“ මට කීව ටික තමා අනේ මම ලීවේ. ප්‍රදී ඉස්කෝලෙන් ගියාට පස්සෙ , එතන මොකක්ද හිස් ගතියක් තිබ්බ නේ. “

“ නෑ ....... මම උඹට කීවා. ප්‍රදී ෆස්ට් ශයි එක කරාට පස්සෙ සෙකන්ඩ් ශයි එක කරන්න ගාලු ගියා. මට මතක හැටියට නම් සංඝමිත්තෙට. එයාලට තිබ්බා ගාලු කොටුව ඇතුලෙ ලොකු ගෙයක්.ඒක අයිති එයාගේ තාත්තට. හැබැයි .......ඒකෙ හිටියෙ එයාගෙ නැන්දා...........ප්‍රදී ගියේ මේ නැන්ද ළඟට.......... ඒත් උඹ කතාව එහෙම් පිටින්ම වෙනස් කරල “

තව දුරටත් ඒ නොරිස්සුම දරන්න බැරි නිසා නිහඬ වුනු මම පරිගණකය විවෘත කරපු ගමන් ඔහු මට මීට කාලෙකට කලින් එවල තිබ්බ හැම ඊමේල් එකක්ම ආපහු චෙක් කරන්න ගත්තෙ මට මඟෑරුනු ඒ කොටස් ටික හොයන්න.
-------------------------------------------------------------------
ප්‍රදී ව ඇරලන්න ප්‍රදීගේ දඹේතැන්න ගෙදරට ගිය දවස මතකයේ සුන්දර දවසක් වෙලා අදටත් ඉතිරි වෙලා තියනවා. “ සිහින ලොවක් දුටුවා ...... මතකයි “ සිංදුව ඇහෙද්දි , ඇස් දෙක පියාන ඒ දවසට යන්න අදටත් එයාට පුලුවන් ඇති. 

එදා ඇතිවුනු මිතුරුකම මේ තරම් සිත රිදවන එකක් වෙයි කියලා මීෂාටවත් හිතෙන්නෙ නැතිවැති.

අනූෂා අත්කර දුන් ප්‍රථම ප්‍රේමයේ මිහිරි මතකයත් , ප්‍රථම විරහවේ අමිහිරි දුකත් හමුවේ , උසස් පෙළ ලියූ මීෂාගේ ප්‍රතිඵලය සුබ දායක එකක් වුනේ නැති නිසා දෙවන සැරේට විභාගයට පෙනී සිටීමට ඔහුට සිදු වූයේ අනූෂා නිසා ඇති වූ අමතක කල නොහැකි විරහව ත් එක්ක.

සිත් වේදනා නැති කරන්න වෙනත් බොහෝ ක්‍රියාවන් හි නිරත වූ මීෂා ගේ සිත සුවපත් කිරීමට “ ප්‍රදී “ ගේ ආශ්‍රය ඉවහල් වෙන්න ඇති කියල මට ත් හිතෙනවා.

ඒත් , ප්‍රදී . . . . පලවෙනි සැරේ විභාගයට පෙනී සිටිමෙන් පස්සෙ එයාගේ තාත්තගෙ ගම් ප්‍ර දේශය වෙච්චි ගාලු පුරවරය බලා ගියපු නිසා මීෂා ගේ විරහී සිත තවත් වේදනාවට පත් වෙන්නට ඇති.

ප්‍රදී ගේ තාත්තාගේ නිවස ගාලු කොටුව තුල වූ විශාල පැරණි නිවසක් කියලත් එහි දැනට පදිංචි වී සිටින්නේ පියාගේ සහේදරයික කියලත් ප්‍රදී , මීෂා ට ලියපු ලියුම් වල තිබිල තියෙනවා.. ඒ ලියුම් පිටු ගාණක් දිගයි කියල මිෂා මට කියල තියෙනවා.

මීෂා ගේ දෙවන උසස් පෙළ කාලය ආරම්භ වන්නේ මෙවැනි ගැටළුකාරී ජීවන අත්දැකීම් මත වුවත් ඔහුගේ සිත ප්‍රදී ළඟ නතර නොවී යැයි කියන්නට තරම් සාධක මට නැහැ.. නමුත් ප්‍රේමයත් - මිතුරුදමත් අතර තැනක නැවතුනු නිමේශයක උපන් ස්නේහයක් ඇය වෙනුවෙන් ඔහු සිත තුල හටගෙන අද වෙනතුරු ද නොනැසී පැවතීම නම් මා සිත තුල ඉරිසියාව ජනිත කරුවන කරුණක් බැව් නොකියාම බැරිය.

පිටු ගණන් දිගැති ඒ ලියුම් පසුකාලීනව මීෂාගේ රූමත් පුද්ගලික ලේකම්වරිය විසින් පුලුස්සා නොදමන්නට , අද වන විට මේ කතාව ගෙතීමට තිබූ “ස්වර්ණමය දායදයක් “ වන්නට ඉඩ තිබුනි.

ඉගෙනීමත් , විරහී සිතත් තුලනය කර ගැනීමට මීෂා “ කරාතේ “ ඇකැඩමියකට බැදී පුහුණුව ලැබූ අතර , එහි සිදුවන සෑම දේම ප්‍රදීට ලියා යැවීමට ද අමතක නොකලේය.

ගුරුවරියක වන මීෂාගේ මවගෙන් කිසිදු උපකාරයක් , දිරි ගැන්වීමක් කරාතේ පන්තිය සදහා නොලැබීම නිසා පන්ති ගාස්තු සොයා ගැනීමට මීෂාට සිදු වූ තවත් අභ්‍යගයකි. නමුත් අද වගේ ඩිජිටල් යුගයක් නොවූ එකල කඩ , සිනමා ශාලා ආදියෙහි නාම පුවරු ඇදීමෙන් ලබා ගත් මුදල් ඔහුගේ වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් වී තිබුනි.

පළවු වර නිමා කර ගත නොහැකි වූ විෂය නිර්දේශයන් නිම කර ගැනීමට පුද්ගලික පන්ති යාමට මීෂාට සිදු වූ අතර ඒ සඳහා කොළඹ නැවතීමත් , නැවතුනු නිවහනේ ගැහැණු ළමයින් සම්බන්ධ කතා ලිවීමටත් තවත් පිටු ගානක් වැය කිරීමට මට සිදු වනු ඇත.

කොළඹ නැවතීමට ඔහුට සිදු වන්නේ පාසලේ සිටි උසස් පෙළ ගුරුවරුන් සියල්ලන්ම ඔහුගේ පාසලේ විදුහල්පති සමඟින්ම කොළඹ නගරයේ ප්‍රධාන පාසලකට ස්ථාන මාරු කල බැවිනි. අද මෙන් පුද්ගලික පන්ති බහුල නොවූ එකල කොළඹට විත් දෙවන වර විභාගයට ඇවැසි නොලැබූ දැනුම ලබා ගන්නට සිදු වූ ව ද , සතියේ දින දෙක තුනක පාසල් මිතුරන් සමඟින් එක් වී පාඩම් වැඩ කිරීමට ද කරාටේ පන්තියට යාමට ද , ප්‍රදීට පිටු ගණන් ලියුම් ලිවීමට ද ඔහුට තිබූ හැකියාව ගැන මම තවමත් පුදුම වන්නෙමි.

පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ලක පන්ති කාමරයක කුටු කුටු ගානා කෙල්ලන් කොල්ලන් රැසක් ලොකු ගැටළුවකට මුහුණ දී ඇති බැව් දුර සිටන මට පෙනේ.පාසලේ ඉඩ කඩ මදි වූයෙන් ද යහළුවන් සියල්ලන්ටම එකතු වීමට හැකි කාලය වූයෙන් ද ඔවුන් සියළු දෙනා පාසලේ එකතු වන්නේ ඇදිරි වැටුන විට බැව් ඔවුන්ගේ කතාවෙන් හැඟේ

“ මේ වැඩේ කරන්න බෑ බන් . බලහන් දැන් කොහොමද කියලා ඕර්ගනික් කෙමිස්ට්‍රි ටික මම අහ ගන්නේ “

“ චුරු චුරු ගාන්නැතිව හිටපන් කො බන් ගෑණි වගේ . මගෙ ලග හොද ප්ලෑන් එකක් තියනවා. වරෙන් කො යන්න.අනිත් වුන් හිටපල්ලා. අපි ඉක්මනට එනවා.... “

ඉස්සර වූ කොල්ලෙකු , තවත් කොල්ලන් දෙන්නෙකු ද සමඟින් පාසලෙන් පිටව යනු පෙනේ. මීෂා ද ඒ අතර වේ.

පාසලෙන් පිටත වැටි ඇති පාර දිගේ යන ඔවුන් වසා ඇති කුඩා කඩයක් ළඟ නතර වෙනු පෙනේ. ඉස්සර වී පැමිණි කොල්ලා වට පිට විපරමෙහි යෙදෙන අතර , තවකෙකු කඩයේ විවෘත වී ඇති කොටසට ගමන් කර එහි වහලය දෙස විපරමින් බලයි. නැවත එළියට එන ඔහු අනිත් දෙදෙනාට “වරෙන් “ යැයි හිසින් සන් කරයි.

දැන් තිදෙනාම සිටින්නේ කඩයේ කුඩා විවෘත හිඩැසේය. තිදෙනාම වහලය දෙසට යොමූ නෙත් ඇතිව කටත් අයාන බලා සිටිති. මම ද හිස හොවා උඩ බැලූවෙමි.




සිංහල උළු හෙවිලි කර වහලේ කිසිදු විශේෂත්වයක් මට නම් නොපෙනේ. නමුත් වහලය බිම් මට්ටමේ සිට සැලකිය යුතු උසකින් යුතු ය.

“ උඹ නැගපන් කරට “

ඉස්සර වී පැමිණි කොල්ලා මීෂා ගේ පිටට තට්ටු කරමින් හිමින් පවසයි. එ් වදන් ගිලිහෙත්ම අනිකාගේ පිටට නැගි කෙට්ටු මීෂා ගේ අත වහලයේ තිබූ යමක් වෙත දිගු වනවාත් සමඟම කඩයේ විවෘත කොටසේ තිබූ ආලෝකය නැතිව ගොස් ඝන අදුර පැතිර යන්නට විය.

අහෝ ............මුන් වැනි ජඩ කොල්ලන්. කඩයේ විවෘත කොටස ආලෝකමත් කරමින් තිබූ බල්බය දැන් ඇත්තේ , පාසලේ ඔවුන් කලින් නැවතී සිටි පන්ති කාමරය ආලෝකයෙන් පුරවා ලමිනි. ඔවුන් පාඩම් කරයි. එකිනෙකාට විහිලු ද කරයි. ඒ අතර මීෂා ට ප්‍රදී ගේ මතකය ද විටින් විට විත් යයි.ඇතැම් විට අනුෂා ද සිත පාරයි. එවිට ඔහු කොළයක කොණක අදින බලි කුරුටු මගින් තම හැඟීම් මුදා හරියි.

“ මොනා ද බන් කරන්නේ , අනේ බන් මට මේ ටික තේරෙන්නෑ කියා දීපන් කෝ. උඹ ඉතින් කොළඹ ගිහින් අතෑරිච්චා ඉගෙන ගෙන ආවට අපට කොයින්ද බන් එහෙම චාන්ස් “ 

“ ඒ බන් අපි බල්බෙක ගලවල තියල යමු ද?“

“ ඕනි නෑ බන් . අපි වගේ මරිසි වැඩ කරන වුන් වෙන නැතිවැති නෙ. අනික ඉස්කෝලෙ බල්බ් උස්සන්නෙ කවුද බන් “ රැ බෝ වී වැඩිවිට එකිනෙකාගෙන් සමුගන්නා ඔවුහු යලිත් හමුවන පොරොන්දු පිට සමුගනිති.

නමුත් , ඔවුනටද වඩා මරිසියන් සිටිනා බැව් දැන ගන්නා විට ප්‍රමාද වැඩි ය. දින දෙක තුනකින් අතුරුදන් වන ඔවුන්ගේ විදුලි බල්බයේ හිස් තැන පිරවීමට නැවතත් මීෂා ඇතුලු තිදෙනා පැරණි කඩයේ විවෘත හිඩැසේ එකා පිට එකා නැගිලාය.

කෙට්ටු , සැහැල්ලු මීෂා උඩම කොණේය. ඔහු බල්බය ගැනීමට අත දිගු කලා පමණි.

“සලා..............................න් .“ 

එකවර සියල්ල අඳුරු වූ අතර තිදෙනා ගෙම්බන් පොලවෙ ගැසුවා සේ විසිරී ගොස්තැ න තැන වැටී සිදුවු කිසිවක් ගැන නිච්චි නැතිවා සේ අතපත ගාන්නට විය.

“ මොකක් ද යකෝ ඒ වුනේ ?“

“ කවුද යකෝ බල්බ් එකට පයිල් කටුවක් ගහපු පරයා ...............“ 

“ වරෙන් බන් යන්න ..........“

බිදුනු වීදුරු කටු ද , ඇනුනු දණහිස් කටු ද , රිදෙන ඇග පත ද සමගින් තිදෙනා පාසල වෙත දුවනු පෙනේ..... 

“ හොඳ වැඩේ “ යැයි සිනා සෙමින් මා ඔවුන් තිදෙනා දෙස බලා සිටිමි. . .. . . ඉදිරියෙන්ම දුවනා කෙට්ටු නමුත් හැඩකාර මීෂා දෙස බලා සිටිමි. 

ආදර ප්‍රදී 9

ආදර ප්‍රදී
9- කොටස


මේ කතාවේ ලිවිල්ල ආරම්භ වන්නේ දැනට කාලයකට කලින් වුවද එදා පොරොන්දු වූ පරිදි කතාව ලියා හමාර කරන්නට අදටත් නොහැකි වී ඇත්තේ , ලියන්නට ගිය කතාව නිසා අලුත් කතාන්දරයක් උපන් බැවිනි. ලියන්නියත් , කියන්නාත් අතර මේ වන විට ගොඩනැගී ඇති කතාන්දරය වඩා ශක්තිමත් කතාව වූව ද කියන්නා විටින් විට අතීත කතාවේ ලියවිල්ල ගැන ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇති බැවින් පැරණි ලිපි සොයමින් කතාව තෙම්පරාදු කිරීමට සිදු වී ඇති බැව් පවසමි.


කතානායකක මීෂා ගේ පාසල් පෙම්වතිය වූ “ අනූෂා “ ගේ හැර යාමෙන් පසුව , ඔහු ටිකින් ටික ළං වූ ඔහුට ටිකින් ටික ළං වූ අනිත් මිතුරිය වූයේ “ ප්‍රදී“ ය.


නමුත් ප්‍රදී , දෙවන වර විභාගය සඳහා මීෂා උගත් පාසල මෙන්ම එ් සීතල ප්‍ර දේශය ද හැර දා ඉන් ඉතා දුර බැහැර වූ ගාලු ප්‍ර දේශයට සංක්‍රමනය වූවා ය. නමුත් ඇය මීෂාට දිගින් දිගටම ලිපි ලිවීම නරත නොකලා ය. අද මෙන් ෆේස් බුක් , වට්ස් ඇප් , වයිබර් තියා , ඊමේල් ලිපිනය ද නොමැති වූ එකල තිබූ එකම ලිපිනය වූයේ තැපැල් ලිපිනයයි.


ප්‍රදී ඔහුට දිගින් දිගටම ලීවා ය. ආදර මීෂා ලෙස පටන් ගන්නා ඒ ලියුම් අවසන් වූයේ මීට ආදරණීය ප්‍රදී ලෙසිනි. ලගක් වන තෙක් ඔහුගේ කාර්යාලය මේස ලාච්චුවේ ඔහු ළඟ සුරැකිව තිබූ ඇගේ ආදරය පිරි ලියුම් සහ කෙසඟ පෙනුමැති ඇගේ පින්තූරය , ගිනි දෙවියාට පිදුවේ ඔහුගේ සුන්දර පුද්ගලික ලේකම්වරියයි. ඇතැම් දින වල දී තමන්ගේ ප්‍රධානියා කතාවක් බහක් සිනාවක් නොමැතිව බලාගත් වනම බලා හිදින්නේ , මේස ලාච්චුව ඇර පිටතට ගන්නා යමක් දෙස බොහෝ වේලාවක් බලා සිටීමෙන් අනතුරුව බැව් සොයා ගත් ලේකම්වරිය ඔහු නොමැති එක් දිනක මේස ලාච්චුව හැර බලා ඔහු ගේ සිනා කතා නතර කරන ඒ අපූරු ලියුම් මිටියත් ඡායාරූපයත් පුලුස්සා දමන්නීය.


මේ අතීත කතා සියල්ල අතරේ අදටත් මිෂා ගේ මතකයේ ඇත්තේ ප්‍රදී දකින්නට ඇය සොයා ගිය ගමනයි. ඇගේ ලිපි වලින් ඇයව දුටුවද ඉවසා ගත නොහැකි දැක ගැනීමේ ආසාවෙන් පෙලුනු ඔහු දිනක් , ඇය සොයා යන ගමන ආරම්භ කළේ ය. එවක ඔහු දෙවන වර විභාගය සඳහා ආවරණය නොවී තිබූ විෂය කොටස් ආවරණය කර ගැනීමට කොළඹ පැමිණි සිටි සමයයි. ඔහුගේ මෙම හොර ගමන ගැන ඔහු හැරුන විට දැන සිටියේ ඔහු නතර වී සිටී ඥාති නිවසේ වැඩිමහලු දියණිය පමණි.


ප්‍රදී ගේ ලිපි වල තිබූ වං හුං ඔස්සේ ඔහු ඇය සොයා යන විට ඇය , ගාලු නිවසින් පිටවී , තම මව සමඟින් වාසය කරමින් උන්නීය. මවගේ දෙවන විවාහයේ පියා , තම කුඩා සහෝදරයා සමඟින් එම නිවසේ ඇය වාසය කලේ වෙනත් යාමට කිසිදු තැනක් නොමැති නිසා බැව් ඇය මීෂා වෙත එවා තිබූ සෑම ලිපියකම පාහේ අකුරු වදන අතර සැඟවී තිබූ රහසකි.


මතුගම ආසන්න ගමක් වූ එහි යාමට මතුගම නගරයට පැමිණි මීෂාව , ඇගේ ගෙදර එක්කරන් යාමට ඇගේ කුඩා සහෝදරයා පැමිණ සිටියේ මීෂාගේ පැමිණිම ලිපියක් මඟින් ප්‍රදීට කලින් දැනුම් දී තිබූ බැවිනි. වෙසක් පොහෝ දිනට දිනකට පෙර දිනක් වූ එදින , ප්‍රදී හමුවීම පෝයට කලින් හඳ දැක්කා හා සමාන විය. ඉතා උණුසුම් වැළඳ ගැනීමකින් පිළීගැනුන ඔහුට , ඇය හා කතා කිරීමට දහසක් දේ තිබුණි. තරමින් කුඩා වූ ඒ නිවසේ සිටි ඇගේ බාප්පා තරමක දෘඩ ගති ඇති නහරකාර පිරිමියෙකු විය. වරක් හෝ දෙවරක් හිර බත් රසය විඳ ඇති ඔහු යටතේ සිටි ඇගේ මව අහිංසක පෙනුමක දැරූ නමුත් තම දියණිය කෙරෙහි උපන් ආදරය පෙන්වා ගත නොහැකිව තම ස්වාමියාට යටත්ව සිටින බවක් මීෂාට දැනුනි. බාප්පා දුටු විටම ඔහුට සිතුනේ “ප්‍රදී“ ඔහුගෙන් ඉතාම පරිස්සම් විය යුතු බවයි.


අදටත් මතකයේ රැදී ඇති ඒ සුන්දර දින දෙක ගත කල අපූරුව මීෂාගේ වචන වලින්ම ලියන්නට සිත්වෙයි.


“ එදා අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා. මම පුටුවෙ වාඩි වෙලා ඉද්දි , ප්‍රදී හිටියෙ මගෙ පාමුල බිම වාඩි වෙලා. මගෙ ඔඩොක්කුවෙ ඔළුව තියන්. මම හිතන්නේ එයාගේ හිතේ තිබ්බ කරදර බර ඔක්කම සැහැල්ලු වෙන්න ඇති එදා.එයාගේ මල්ලි වරින් වර ඇවිත් අපි දිහා එඹිල බලල ගියා “


“ එදා රෑ වෙනකම් අපි කතා කර කර හිටියා. රෑට නිදාගන්න එයාල මට ගෙදර තිබ්බ කාමර දෙකෙන් එකක් වෙන් කරල තිබ්බා.ඒත් ගොඩක් රෑ වෙනකම් අපි දෙන්න ඇඳට වෙලා කතා කර කර හිටියා “


“ යන්න අනේ බොරු නොකියා. රෑ වෙනකම් අවුරුදු විස්සට ලං වෙන්න ඉන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි නිකම් කතා කර කර ඉදී ද අනේ..... ඔයා මට බොරු කියනවා “ මීෂා ගේ අතීත කතාව අහන් හිටපු මගේ කැත හිත එළියට පැන්නා.


“ ඔවු ....අපි බදා ගත්තා ,වැළඳ ගත්තා , මම ප්‍රදීගේ නලලත් ඉම්ඹා.හැබැයි ඉන් එහා දෙයක් නම් සිද්ධ වුනෙත් නෑ. සිද්ධ වෙන්න තරම් හිතට ඔයා කියන විදිහෙ හැඟීමක් ආවෙත් නෑ. මම කියන්නෙ ඇත්තමයි “


“ හරි හරි ඉතින් ඊට පස්සේ ?“ 


“ඊට පස්සෙ දවසේ , අපි ගියා එයාල නාන ළිඳට , ඒක තිබ්බෙ වත්ත පහල නිස්කලංක තැනක. මට තාමත් හිතා ගන්න බෑ , ඇගේ නොපෙන්විය යුතු තැන් නොපෙනෙන්න කොහොමද එච්චර හොඳට ප්‍රදී ඇඳුම් මාරු කරේ කියලා “


“ එහෙනම් දෙන්න එක්ක ළිඳෙත් එකට නෑවා , හරි හරි කමක් නෑ කතාව කියන්න කෝ “


“ එදා රෑ තමයි වෙසක් පෝය තිබ්බෙ.එදා හවස මායි ප්‍රදීයි , ප්‍රදීගේ මල්ලියි එකතු වෙලා වෙසක් කූඩු හැදුවා. ප්‍රදී විතරක් නෙමෙයි , එයාගේ මල්ලිත් හිටියෙ හරිම සතුටින් , ඊට පස්සෙ රෑ වෙද්දි අපි පන්සල් ගියා “


“ ඉතින් ................“


“ ඉතින් ..........ඊට පස්සෙ දවසෙ උදේ මම ආපහු එන්න ආවා. මට තාමත් මතකයි ඒ කතා කරන ඇස් මම එන්න එද්දි මා දිහා බලන් හිටපු හැටි. ඒ වෙද්දිත් අපි දෙන්නට දෙන්නා “ආදරෙයි “ කියල කියල තිබ්බෙ නෑ “


“ ඒ උනාට ආදරෙයි ? “ එහෙමෙයි....................

“ සමහර විට අනුකම්පාව ............ සමහර විට ආදරේ වෙන්නත් ඇති ..............“


“ ඉතින් ......................“


“ ඉතින් .............. ඊට පස්සෙත් එයා මට දිගටම ලිවුවා ............ මම දෙවෙනි සැරේට විභාගෙ ලියල ප්‍රතිඵල එනකම්මත් , ඒ ප්‍රතිඵල වලින් විශ්ව විද්‍යාලයට තේරෙනකම්මත් එයා දිගටම මට ලිවුවා. මම විශ්ව විද්‍යාලයට තේරුන එකට එයා ගොඩක් සතුටු වුනා........ .ඒත් හිටි ගමන් ........... “ කතාව මදකට නතර කල මීෂා ..........ගේ ඇස් ඈත නොපෙනන මානෙකට යොමු විය.


“ කියන්න කෝ ........ඉතින් මොකද වුනේ “ ඔහුගේ කලව මත තිබූ මගේ දකුණතින් වැරෙන් ඔහු සොලවමින් අසන්නට වූයේ මම සිත්පිත් නැත්තියක මෙනි.


“ හිටි ගමන් ..........එයාගෙන් ලියුම් ලැබෙන්නෙ නැතිව ගියා..............“ 


“ ඒ කීවේ ......................ප්‍රදී ට මොකද වුනේ ..............? 


ඒ ගැන දැන ගන්න ඊළඟ කොටස කියවන්න.

ආදර ප්‍රදී 10


ආදර ප්‍රදී 

10 - කොටස


මම දන්නෑ ඇයි එයා හැමදේම මට කියන්නෙ කියලා. හැබැයි ඒක හිතල මතල හෝ ගොතල කරල කියන දෙයක් නෙමෙයි කියල නම් මට තේරෙනවා. එයාට මා ගාවදි ඒ දේවල් කියවෙනව ඇති , සමහර විට එයාට මා ළඟ දි විශ්වාසයක් , සුව පහසුවක් , නිදහසක් දැනෙනව ඇති. ඒත් ඒ හැමදේම අහගෙන දරාන ඉන්න මට, වෙලාවකට හිතට මහ බරක් දැනෙන්න ගන්නවා. ඒ ඇයි කියල හිතන්න මම බයයි.

මට මගෙ පළවෙනි ආදරය මතක නැති තරම් වෙලාවක , මනුස්සයෙක් ගෙ ජිවිතේ පළවෙනි ආදරය කියන්නේ කිසිදාක අමතක කල නොහැකි සුන්දර හැඟීම්බර දෙයක් කියල මම විශ්වාස කරන්න ගත්තෙ එයාගෙ කතාව අහලා. 
අවුරුදු ගාණකට පස්සෙ ,කොටින්ම අවුරුදු තිහකට පස්සෙ තමන්ගේ පළවෙනි ආදරය තමන්ට හරියටම මේස ඉස්සරහින් මූණට මූණ ලා වාඩි වෙලා ඉන්නවා. තමන් ගෙ ආදරණිය බිරිඳ දකුණු පැත්තෙන් , තරුණ වියේ දුව වම් පැත්තෙන්, ආදරය මුහුණට මුහුණ ඉදිරියෙන්...... එයාට මොනව හිතෙන්න ඇති ද කියලතමා මට මුලින්ම හිතුනේ.......................


“ එයා දූට කීවා , ඔයාගේ තාත්තට හොඳට උයන්න පුළුවන් කියලා , එයාට ඒ හැමදේම මතකයි “


“ මොන ගෑණිට ද අනේ හොඳට උයන්න පුළුවන් පිරිමි අමතක වෙන්නේ ,? අපිට නෑනේ ඔහොම ආදරේ කරන ඈයෝ “ මම එහෙම කීවේ ඉරිසියාවට ද ?


මේ හැමදේම ලියල තියන්න මට හිතෙන්නෙ ඇයි ? මේ දේවල් ලියන්න කියලා එයා කියන්නේ ඇයි?


කොච්චර වයසට ගියත් ඇයි මිනිස්සු ආදරේ කියන නපුරු දේ ගෑවුනු තැන් පවා මතක තියන් ඉන්නේ ?


“ එයාට ඉස්සර හොඳට ලියන්න පුළුවන්, එයා මට කවිම කොච්චර ලීව ද“


“ ලියන්න පුළුවන් වෙන්නෙ හරි ලියන්න දේවල් එන්නෙ හරි , තමන් වටේ පිටේ ඉන්න අයත් එක්ක.මූණ දෙන දේවලුත් එක්ක. මට එහෙමයි.ඒක එයාටත් එහෙම වෙන්නැති “

“ හොඳයි................මට කියන්න , ඔයාගේ ටොප් ටෙන්නෙකේ දැන් විස්සක් විතර ඇති නේ. එයින් ඔයා වැඩියම ආදරේ ඔය ෆස්ට් ලව්වෙකට ද?“


“ නෑ .................ප්‍රදී ට “

---------------------------------------------



කතාව නැවතූවේ කොතනින් දැයි හරියටම නිච්චියක් නැති නිසා පළමුව බ්ලොග් පිටුව වෙත ද, කතාව මට පවසා කලක් ගත වී ඇති බැවින් දෙවනුව ඊමේලය වෙත ලොග් වී ඔහු විසින් මා වෙත විටින් විට එවා තිබූ ඊමේල් ලිපි වෙත ද නැවතත් නෙත් හෙලීමට මට සිදු වි ය.



ප්‍රදී හමුවීමට මතුගම ගිය ගමන අදටත් ඔහුට අමතක කළ නොහැකි දින කිහිපයක් දායාද කර ඇත. මතුගම ගමනින් ප්‍රදීගෙන් සමුගන්නා විට දී දෙදෙනා එකිනෙකාට විස්තර දන්වමින් ලිපි හුවමාරු කර ගැනීමට සපථ වී තිබූනා සේම ප්‍රදී විසින් සතියකට ලිපි එකක් හෝ දෙකක් නොවරදවාම ලැබෙන්නට වූ අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිදු කරන අතරතුරදිත් ඇයගේ ලිපි වලට පිළිතුරු ලියන්නටත් ඇගේ ලිපි නැවත නැවත කියවන්නටත් ඔහුට කාලය සොයා ගැනීමට නොහැකි වූයේ නැත.

නමුත් හිටි වනම ඇගෙන් ලිපි ලැබීම ත් ලිපි අතර කාල සීමාව ඉතා දිගු වීමටත් පටන් ගැනුනි. ඒ පිළිබඳව විමසා ඔහු විසින් යවන ලද ලිපි කිහිපයකට පසුව පිළිතුරු ලෙස ලැබුනේ ලිපි ලිවීමත් තැපැල් කිරීමත් ඉතාම අසූරු කටයුත්තක් වී ඇති බවයි. සුළු පියාගෙන් නිතර නිතර සිදු වන අකටයුතුකම් එයට හේතුව ලෙස ඇය දක්වා තිබූ නමුත් හරි හැටි සියල්ල ඇය විසින් නොපවසන බවත් කුමක් හෝ සඟවන බවත් ඔහුට සිතුනි. ඇයට නිවසේ වාසය කිරීම අප්‍රසන්න වී තිබූ බැව් නම් ඔහුට රහසක් වූයේ නැත.ඇගේ මවගෙන් පවා ඇයට කිසිදු සහනයක් ලැබෙන බවක් පෙනෙන්නට නොතිබුනි.

අහිංසක ඇගේ නිදහස නොමැති වීමත් විදීමට සිදු වී ඇති තාඩන පීඩනත් ගවු ගානක් දුරින් සිටි ඔහුගේ සිත ද නිතර නිතර පාරවන්නට විය. ඇය ගෙනවිත් නතර කර ගැනීමට තරම් හැකියාවක් විශ්ව විද්‍යාල සිසුවෙකු වූ ඔහුට නොමැති වූවත් ඔහු ලෙහෙසියෙන් බලාපොරොත්තු අත් හලේ නැත. ඔහු කොතරම් නම් සරල සහ නොගැඹුරු ලෙස සිතුවාද යන්න වැටහෙන්නේ තම මවගෙන් පවා ඇය නතර තම නිවසේ නතර කර ගැනීමට හැකි දැයි විමසා සිටීමෙනි.

“ කොහෙවත් යන , ජාතියක් ජන්මයක් නැති එකියක් ගේ අස්සෙ දාගන්න පිස්සු ද ? අනික කොහෙත්ම ගැලපෙන්නැති එකියක් “

“ ගැලපෙන්න .......... පිස්සුද අම්මට. ඒ මගේ හොඳ යාළුවෙක්. අනික ඒ කෙල්ලට යන්න එන්න තැනක් නැතිව අසරණ වෙලා ඉන්න වෙලාවක උදව්වක් කරන්න බැරි මොක ද ?“

“ ඕනි නෑ. ඔය අනුකම්පාව තමා අන්තිමට භූමිකම්පා වෙන්නේ. මෙහෙ ඉඩ නෑ රස්තියාදු ගහන ගෑණුන්ට “

එයට මවගෙන් ලැබුනු පිළිතුරු ඉතා දෘඩ වූයෙන් තම ම සමඟින්ද කාලයක් යන තෙක් ඔහු හිත නොහොදින් කල් ගෙවුවා පමණක් නොව නිවසින් ඈත්ව වාසය කිරීමට තරම් ඔහුගේ සිත දැඩිව තිබුණි.

නමුත් ඔහු ඇයට නවාතැනක් සෙවීම අත් හලේ නැත. තම සිතට වද දෙන මේ ප්‍රශ්නය ගැන කතා කරන එක් අවස්ථාවක දී ඔහුගේ පිහිටට ආවේ මිතුරෙකි. මිතුරාගේ ද මිතුරෙකු ගේ නිවසේ ප්‍රදීට නවාතැනක් සොයා ගැනීමට අවසානයේ දී හැකි විය. එසේම ප්‍රදී ද එහි නැවතීමටත් නිවසේ කටයුතු සඳහා උදව් කිරීමටත් එකඟ වූවා ය. 

සතියට දෙකක් ලෙසින් ලැබෙමින් තිබූ ප්‍රදීගේ ලිපි මාස දෙකකට එකක් දක්වා අඩු වී තිබූ අතර සම්පූර්ණ කොළ තුන හතරක දිගින් යුතුව තිබු පෙර ලියුම් වලට වඩා බෙහෙවින් කෙටි වූ ඒවා ද විය.

අවසානයේ ලියුම් ලැබීම සහමුලින්ම නැවතී මාස ගනනක් ගත වී තිබූ එක් අගෝස්තු මාසයක මැද දිනක දී හදිසියේම පැමිණි ලියුමකි. නමුත් ඒ ඇගේ අත් අකුරු නොවූ මුත් ඇය ගැන දන්වා එවා තිබූ ලියුමකි. ලිපිය කියවූ වහා කලබලයට පත් වූ ඔහු යහළුවෙකු ද සමඟින් තකහනියේ සූදානම් වන්නේ කොහේ හෝ යාමට ය .......................

ඉතිරිය ඊළඟ කොටසින් ............................

ආදර ප්‍රදී 2 - කේතක පෙම් හසුන

ආදර ප්‍රදී
2 කොටස - කේතක පෙම් හසුන



මම නැවත නැවතත් ඔහු විසින් මට එවා ඇති ඊමේල් කියවමි.පළමුවර ඒ ඊ්මේල් ලිපි කියවද්දි දැනුන හැඟීමට හාත්පසින්ම වෙනස් හැඟීමක් මා සිත තුල ඇති වෙමින් පවතී. පළමුවර කියවීමේ දී හමු නොවූ වාක්‍ය හමුවීමට පටන් ගනිමින් පවතී. එතකුදු නොව ඒ එක් එක් වාක්‍ය ළඟ සිත නතර වීමටත් වැඩි දුර ඒ ගැන සිතීමටත් සිත වෙනස් වී ඇති අයුරු පුදුමාකාරය. 

ඔහු විසින් එවා ඇති ඇතැම් ඊමේල ලිපි මා මින් පෙර කියවා ඇත්තේ උඩින් පල්ලෙන් බවත් දැන් මා ඒ ලිපි වල වචනයෙන් වචනයට පරිස්සමින් ගොඩ වන්නේ ඔහු මා සිත තුල ඇති කළ ආදරයද දරා ගෙන බවත් මෙය කියවන ඔබට සිතෙන්නට ඉඩ ඇති නමුත් මා ඔබේ සිතුවිලි වෙනස් කිරීමට ඉක්මන් නොවෙමි.

ඔහුගේ ජීවිතයේ නොමැකෙන මිනිස් චරිත ගැන මා වෙත මෙසේ ලියා එවීමෙන් ඔහු අරමුණු කලේ කුමක් වූවත් , මා දැන් ඔහු මගේ ජීවිතයේ නොමැකෙන චරිතයක් බවට පත්කර ගනිමින් සිටිනවා නොවේ ද.

ඔහුගේ කතාව මා ලවා ලියවා ගැනීම ඔහු අරමුණු කරත් , නොකරත් කතාව ලිවීම පසෙක ලා නොසිතූ ලෙස ඔහු හා බැඳුනත් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීම මා සතු යුතුකමක් බව “ ඔයා මගේ කතාව ලියන්නේ නැද්ද , බලන්න ඉස්කෝල නිවාඩුවත් ඉවර වෙන්න ළඟයි “ යන සිහිකැඳවීම් මඟන්වරින් වර මට මතක් කර දෙයි.

කෙසේ හෝ ඔහු මෙන්ම ඔහු ජීවත් වී ඇති පරිසරය ගැන ද මට ඇත්තේ දැඩි ලෝබකමකි. මීදුමෙන් වැසී යන සීත පිරුණු පරිසරය මට ඔහු මෙන්ම ආගන්තුකය , සුන්දරය , හිරිගඩු පිපෙන ආශ්වාදයකින් යුතුය. පයිනස් ගස් විසින් වසන් කර ගත් පාරවල් දිගේ , කෝච්චි පාරවල් වහන් කර ගත් උමන් දිගේ ඔහු ඇය සමඟින් ගියපු ගමන් ගැන සිත ආසාවෙන් පිරිලාය. 

මා විටක ඔහු මා වෙත එවා ඇති ඊමේල් වල වාක්‍ය අතරින් හොරෙන් අඩි තබමින් ද තවත් විටක ඒ කතාවේ පාරවල් දිගේ ඩ්‍රෝන කැමරාවකින් ගමන් කරමින් රහස් තැන් සොයමින් ද සිත විඩාවට පත් වී අවසානයේ දී යළිත් ඔහු ව මගේ වචන අතර සිරකරන්නට උත්සාහ ගනිමින් සිටිමි.

ඊමේලයන් මඟින් ලියා තැබූ සටහන් වලට අමතරව ඔහු ඇතැම් විට ඔහුගේ වදනින්ම ඇතැම් සිද්ධීන් මා හා පවසන අවස්ථා වල දී ඒ මුහුණේ ඇදෙන සිනාවන්ට මා ප්‍රිය කරනා බැවින් “ මේ ඊමේල් වැඩක් නෑ , මට ඒ කතා ටික ඔයාගේ වචන වලින් අහ ගන්න ඕනි. අනික සමහර තැන් තියනව මට ඔයාගේන් හරියට ම අහල දැන ගන්න “ කියා කියන්නට සිතුනු වාර අනන්ත වුවත් ඔහු මුණ ගැසීම එතරම්ම අපහසු නිසා අතීතයට වැටුනු පාරවල් දිගේ ආපසු ඔහු සොයා යන්නට පටන් ගනිමි.

එවිට සීතල පීල්ලකින් වැටෙන දිය පාරක නාන ඔහුව මට හමුවෙයි.පීල්ලේ නාන ඔහු පැන්සලක් මෙන් කෙට්ටුය. කොණ්ඩය නම් අද වාගේම හීනියට කැරලි ගැසී ඇත. අද ඔහු දකින විට මා ආසා කරන ඔහුගේ සාරවත් සුදු රැවුල වෙනුවට ඇත්තේ යොවුන් වියේ අවසනත් තරුණ වියේ ආරම්භයත් සනිටුහන් කිරිමට උපන් දැඩි කළු රැවුල් කොටයි. මේ ඔහුමදැයි සැකයක් උපන්නෙන් ඒ බැව් සැකහැර දැන ගැනීමට පීල්ලේ නාන ඔහුගේ පාමුල වාඩි වී ඔහුගේ මුහුණ දෙස හොඳින් බලන්නට පටන් ගනිමි. පීල්ලේන් වැටෙන දිය රැළ් අතරින් ඔහුගේ මුහුණ මට පෙනේ. දැන් තරම් පෘශ්ඨිමත් නොවූ වද ඒ මුහුණ හඳුනා ගැනීමට මට ඇවැසි එකමෙක සංඥාවක් පමණි.

ඔහු මා දෙස බලා සිනාසුන සිනාව නතර වූයේ දකුණු පස නල දත ගාවිනි. මේ නම් ඔහුම තමා.

නා අවසන් වී තෙත සරම මිරිකා , සබන් පෙට්ටිය සමඟින් තුවායේ ඔතා ගත් ඔහු යන පාර පස්සෙන් වැටුනේ මේ ඔහු ගත කරන්නේ ජීවිතයේ කුමන කාලයක්දැයි හරියටම දැන ගනු රිසියෙනි. ඔහු යමින් ගමන් ගස් , ගල් සමඟින් කියවයි. ඇතැම් තැන් වල නතර වෙමින් විපරමින් බලයි. ඔහු කුඩා කාලයේ දී දුටු නයි-මුගටි රණ්ඩුව ගැන මට කියූ කතාව සිහිවෙයි. ඔහු මා හමුවුනු මෙකල ද ඔහුගේ කතා තුල වැඩියෙන් හමුවූයේ සතුන් සහ ගහ කොළය. මේ නම් ඔහුම තමා.

ඔහු මේ ගත කරමින් සිටින්නේ ඔහුගේ ගන්ධබ්බ අවදියයි. සාමාන්‍ය පෙළ අහවර වී අරමුණකින් තොරව ගත වන කාලයයි........... 

ආපසු ඉදිරිය බලන මට උසට වැඩුනු පයිනස් ගස් අතරින් නොපෙනී යන ඔහුගේ රුව පෙනේ.

ඉන් පසු ඔහු මට හමුවන්නේ පාසලක අලුතින්ම පටන් ගත් උසස් පෙළ ජීව විද්‍යා පන්තියේ නොසතුටින් වාඩි වී සිටිද්දීය.නමුත් මාස තුනකට පසුව නැවත ඔහු මට හමුවන්නේ එම පාසලේම උසස් පෙළ ගණිත පන්තියේ සතුටින් සිටින කොල්ලෙකු ලෙසිනි.

මේ කොල්ලා ට මිතුර මිතුරියන් නොමැතිව ජීවත් විය නොහැකි තරම්ය. එය අද මෙන්ම එදත් එසේම වන්නට ඇත. පාසල් කාලයේ මිතුර මිතුරියන් අදටත් එක ලෙස ආශ්‍රය කරන්නට ඔහුට මෙන් සැමට මෙසේ වාසනාව ලැබෙන්නේ නැත. අහඹුවකින් ඔහුට හමු වූ මා දැනට ඔහුගේ හොඳම මිතුරියයි. එය මා සිතට ගෙනෙන්නේ ආඩම්බරයකි.

මෙසේ සතුටින් ජීවත් වන මේ කොල්ලාට මා නමක් තැබිය යුතුය. නැතිනම් මේ කතාව ඉදිරියට ගෙන යාම ඔබට මෙන්ම මටද අපහසුව ගෙන දේ. 

ඔහුට මම “මීෂා“ යැයි අමතන්නට කැමැත්තෙමි.

ඉතින් නිස්කංලක අයුරින් ගෙවී ගිය මීෂා ගේ පාසල් දිවිය උඩුයටිකුරු කරන්නට සමත් වන්නේ ගමේ තැපැල් කාර්යාලයට ස්ථාන මාරු ලැබ පැමිණෙන තැපැල් ස්ථානාධිපතිවරයා ඔහුගේ සිය පවුලම සමඟින් පැමිණීමයි. 

ස්ථානාධිපතිවරයා සමඟින් පැමිණෙන ඔහුගේ දියණිවරුන් තිදෙනාගෙන් දෙදෙනකු සහ ඔහුගේ පුතකු ඇතුලත් වන්නේ මීෂාගේ පාසලටයි. ඉන් වැඩිමහල් දියණිය මීෂා හා සමාන්තර ජීව විද්‍යා පන්තියට ද දෙවෙනි දියණිය මීෂාට පහළ ගණිත පන්තියට ද ඇතුලත් වන අතර ඔවුන්ගේ නිවස පිහිටන්නේ ද මීෂා යනෙන දිශාවටම බැවින් පාසල් පැමිණෙන හිමිදිරි උදයේ ඔහුගේ සිත කුල්මත් කිරීමටත් පාසල් නිම වී නිවස බලා යන අතරතුර ඔහුගේ සිත වල්මත් කිරීමටත් ඔහු හා එකට එකම බසයේ යන තැපැල් ස්ථානාධිපති දෙවෙනි දියණියගේ බැල්මකට හැකි වීම නිසා ඇගේ පැමිණීමෙන් මාස තුන හතරක් යන තෙක් මීෂා ජීවත් වූයේ පොළවෙ පය ගසා නොවනා බැව් පෙනේ. 

ඔහු දිරිමත් කරමින් උදේ හවා බසයේ දී ලැබෙන ඇගේ සිනහවත් , ඔහුගේ පන්තියේ ඔහුගේ යෙහෙළික වන නිලන්ති , ඇගේ ද යෙහෙළියක බැව් දැන ගැනීමත් සමඟින් සියල්ල වෙනස් වන්නට විය. සිය ප්‍රථම ප්‍රේමයට කපුකම කතා කිරීමට ඔහු තෝරා ගත්තේ තම යෙහෙළිය නිලන්තිය. නමුත් , ප්‍රතිඋත්තරය ලෙස නිලන්ති ගෙනා පණිවිඩය නම් සතුටුදායක නොවුණි. 

බසයේ දී ලැබෙන සියළු ඇලුම් බැලුම් බොරු කරමින් ඇය මිෂාගේ ආදර ඇරයුම ප්‍රතික්ෂේප කර තිබුණි. එසේ කාලය ගත වෙද්දි , ඇගේ ආදරය පතා ආ පිරිමි ළමුන් කිහිප දෙනෙකුම ඇගේ ප්‍රතික්ෂේපයට භාජනය වූ බැව් පමණක් මීෂාට ආරංචි වූයේ නිලන්තිගේ මාර්ගයෙනි.

මෙසේ කාලය ගෙවී යමින් තිබුනු අතර ඇය ගැන නැවත නැවත සිතීම පසෙක ලා ඔහු වඩාත් කැමැත්තෙන් පාසල් ශිෂ්‍යභට කණ්ඩායමේ වැඩ වලට දායක වනු මට පෙනේ. ඇය ඔහුට අකැමැති වීම මාගේ සිතට යම් තරමක සතුටුක් රැගෙන එයි. ස්ථානාධිපතිවරයාගේ දෙවෙණි දියණිය නමින් “අනූෂා “ ය. ඇය සැබැවින්ම පිරිමි සිත් සසල කරවන්නටම උපන්නියකි. ඇගේ වත තුල සැඟවී ඇති අනුරාගික බව, ඇගේ ලාලිත්‍ය , ඇගේ වචන, ඇගේ බැල්ම ට අසු නොවනා පිරිමියකු මේ මිහිපිට සිටින්නට බැරි බැව් මට සිතේ.ඇය එතම්ම හැඩය. මීෂා සහ අනුෂා එක තැන සිටවා තිබුව හොත් ඔවුන් දෙදෙනා මවා ඇත්තේ ඔවුන් දෙදෙනාටම බැව් ඔබටද සිතෙනවා නොඅනුමානය. 

නමුත් සීතල බේරෙන එක් උදෑසනක සිහින් මීදුම අතරින් මට පෙනෙන්නේ පාසල් පිට්ටනියේ කැඩෙට් කණ්ඩායම් පුහුණු කටයුතු වල යෙදෙන මීෂායි.මා ඔහු දෙස බලා සිටින අතර මීදුම අතරින්ම මා දුටුවේ මීෂාගේ පන්තිය දෙසට දුවනා කෙල්ලෙකි. 

මීෂා පන්තියේ නොමැති බැව් දැන ගත්ත කෙල්ල ඇගේ අතේ තිබූ පොත පන්තියේ සිටි කෙල්ලකට දුන්නී “ මතක ඇතිව මීෂාගේ අතටම දෙන්න “ යැයි පැවසූ බැවින් ඇය කවුදැයි මම විපරම් කිරීමට උත්සුක වූයෙමි.

නමුත් මාගේ බැල්මට හසුවන්නට කලින් ඇය පාසලේ ළමයින් අතර නොපෙනී ගියා ය. මීෂාගේ පන්තියේ කෙල්ලන් සිටියේ නම් සතුටිනි. බැලූ බැල්මට මීෂාගේ සතුටට හේතුවන දෙයක් සිදු වී ඇති බැව් හැඟේ.... 

මාගේ කුතුහලය මිශ්‍ර බැල්ම නැවත පාසල් පිට්ටනියට යොමු වූවත් මිෂා එහි නොමැති බැව් පෙනුනි. උදෑසන පළමු කාලච්ඡේදයට කලින් ඔහු පන්තියට පැමිණිය යුතු ව ඇත. මා විපරම් ඇස් කණ් සහිතව ඉවසීමෙන් පසුවුනෙමි.

උදෑසන හතයි හතලිස් පහට පමණ මීෂා පන්තියට ආවත් පන්තියේ කෙල්ලන් කොල්ලන් ඔහු වට කර ගත් බැවින් සිදු වන්නේ කුමක් දැයි බැලීමට ඔවුන් සියලු දෙනා ට ඉහලින් ගොස් බැලීමට මට සිදුවිය.

කෙල්ල ඔහු අතට පත් කිරීමට දුන් පොත ඇතුලෙහි ඇත්තේ සුන්දර ගැහැණු අකුරි වලින් යුක්ත වූ ලිපියකි. නමුත් ඒවා ඔබ මා දන්නා අකුරු හා වචන වලට වඩා හාත්පසින්ම වෙනස් හැඩයක් ගන්නා ඒවා විය.

“ කවුද බන් පොත දුන්නේ “
“ අනුෂා උදේ දීලා ගියේ , උඹේ අතටම දෙන්න කියලා “

“ ඒත් බන් කාටද මේක කියවන්න පුලුවන් “

“ ඒත් බන් ඒකි ලියුමක් දුන්නෙකම ලොකු දෙයක් නේ “ නිලන්ති කීවේ මීෂාගේ හැඟීම්බර මුහුණේ ලියැවී ඇති දේ කියෙව්වාක් මෙනි.

කාගෙත් බලාපොරොත්තු කඩ වූ මුහුණු අතර මීෂා ගේ මුහුණේ පෙනෙන්නට තිබුනේ තෘප්තිමත් සිනහවකි. පළමු කාලච්ඡේදය ආරම්භ කිරීමට සීනුව නාද වීමත් , ගුරුවරියගේ පැමිණීමත් සමඟින් තම තමන්ගේ ආසන වලට ගොස් අසුන් ගත්සියලු දෙනාට එය ඉතා සාමාන්‍ය දිනයක් වුවත් “ මීෂා“ ට නම් එය සතුට උතුරන විශේෂ දිනයක්ම විය.

ඒත් කොහොම ද මේ ලියුම කියවන්නේ ...................

හමුවෙමු ඇගේ ලියුමත් සමඟින් තවත් කොටසකින්....

ආදර ප්‍රදී 3

ආදර ප්‍රදී
3 වන කොටස


ඔයාලට මතක ඇති කෙල්ලෙක් පන්තියට ඇවිත් පොතක් අස්සෙ දාපු ලියුමක් දීලා ගියා .ඒ ලියුම දෙන්න කියල කියල තිවුනේ මම මේ ලියන කතාව අයිතිකාරයට. එයා තමා මීෂා. කොහොම උනත් පන්තියෙ කාටවත් ඒ ලියුම කියව්වන්න නම් බැරි වුනා කියල මීෂා මගෙ දිහා බලල කියද්දි ඒ මූණෙ තිවුනු හිනාව මට හොඳ හැටි මතකයි.

“ ඉතින් , කියවන්න බැරි විදිහට ලියල තිබ්බ ලියුම ගැන ඇයි ඔච්චර සතුටක් ?“

“ ඒ ලියුම කියවන්න බැරි වුනේ නෑ .“

මීෂා කීවේ මගෙ දිහාට හැරිල තිබ්බ ඇස් වලින් මටත් ගොඩාක් ඈතක තිබ්බ යමක් දිහා බලන ගමන්.........................

එදා දවල් වෙද්දි නිලන්ති අතේ ලියුම කියවන්න ඕනි වෙන කෝඩ්ස් ටික අනූෂා එවල තිබ්බා “

“ නෑහ් ................“ 

“ මට ඒ කෝඩ් අද වගේ මතකයි “

“ ඉතින් ඔයා ළඟ ඒ ලියුම් තවම තියනව ද ?“ ගැහැණු සිතේ හට ගන්නා කුතුහලය මැඩ ගනු නොහැකිව මම එහෙම ඇහුවෙ එයා ළඟ තාමත් ඒ ලියුම් ලියුම් තියනව නම් මට එයා එ්වා නොදී නොයින්න බව දන්න නිසාමයි. අනික මේ කතාව ලියන්න උනත් ඒ ලියුම් කියවන එක වැදගත් වෙනව 

“ නෑ...... ඒ ලියුම් ඔක්කම ප්‍රදී ඉල්ල ගත්තා....ඊට පස්සෙ ඒවට මොනා උනාද දන්නෑ “

ඊට පස්සෙ අපි දෙන්න අතර කතා බහ නතර වුනේ දෙන්න එක්කම එළඹුනු නිහඬ ගිවිසුමකට වගේ.

..................................................................

පමා වෙලා පොළවට වැටෙන ඉර එළිය , විද්‍යාව පොතේ කියල තිබ්බ විදිහටම එළි කදම්භ වගේ වැටිල තිබ්බෙ මීදුම අතරින්. ඒ අතරින් මට ඇහෙනවා බොහොම යෞවන හිනා හඬවල් , වෙලාවකට රණ්ඩු වෙන වෙලාකට වාද වෙන ඒ හිනා - කතා දහයක දොළහක විතර පුංචි කාණ්ඩෙක කියල මට තේරුනේ මීදුම අතරේ ඉර එළිය අස්සෙන් එඹිල බලද්දි. යෞවනය කියන්නේ මෙන්න මේකයි කියල දකින කෙනෙක්කට ඉරිසියා උපදවන විදහට , පොත් කීපයක් පිපෙන පපුවට තුරුළු කර ගත්ත ගැහැණු ළමයි , උන් එක්ක එකට එක පේළියේ හිනා වෙවි විහිළු කරමින් යන පිරිමි ළමයි දියවෙන්න පටන් අරන් තිබ්බ මීදුම අතරින් කොච්චි පාරක් දිගේ හිනා හල හල යනවා.

එතන හිටපු කිහිප දෙනෙක්වම මම වගේම ඔබත් මේ වෙද්දි අඳුරන අය. සමහර අය ඒ අපි අඳුරන අය අඳුරන අයවලුන් විත්තිය තේරුනා. තවත් හොඳින් බලද්දි ඒ එදා මීෂාගේපන්තියෙ හිටපු කොල්ලො - කෙල්ලො ටික දෙනෙක් නේද කියලා අඳුර ගන්න පුළුවන් උනා. 

ඒත් කෝ මීෂා ........... 

“ ඒ මචං මීෂා පස්ස ගහන්නව , කතා කරපන් ඌට“ රංචුවෙ හිටපු කොල්ලෙක් එහෙම කියල පස්ස බැලුවෙ කාට හරි අඬගහන්න වගේ.
“උඹට පිස්ස ද , උන් දෙන්නට එන්න ඇරල මෙහෙ වරෙන් බන් යන්න “

නවතින්න හදපු කොල්ලගේ අතින් ඇදපු ටිකක් විතර කොලු පෙනුමක් තියන කෙල්ලෙක් එහෙම කීවේ රංචුවෙ කාගෙත් තීරණය එළියට දාන ගමන්.

“ ඒ මොකද බන් ඌ අපේ එකා , දාලා යන්න බෑනේ “

“ අපෝ උඹෙ මොළේ කොහද බන් තියෙන්නේ, මුගෙ සාමාන්‍ය දැනීම බිංදුවයි , වරෙන් බන් යන්න. යමින් ගමට උඹට තේරුම් කරල දෙන්නම් “

කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව අන්දමන්ද වෙලා වගේ හිටපු කොල්ලව ඇදෙගෙන යන අනිත් වුන්ගේ හිනා හඬ ඈතට ඈතට යද්දි මම එයාල පහු කරල ආපු පාර දිහා බැලුවා.

කොල්ලො කෙල්ලො රංචුව මීෂාව තනි කරල විත්තිය පෙනුනෙ රංචුවට පිටිපස්සෙන් ගාට ගාට එන මීෂාව දැක්හමයි. ඒත් මීෂා තනි නැති විත්තිය පෙනුනෙ ඒ එක්කම ඈතින් , හැබැයි සමාන්තරව අඩිය තියන ගෑණු ළමය දැක්කාමයි.

කෙල්ල හිටියෙ බිම බලා ගෙන, දිගට ගොතපු කොණ්ඩ කරල කොට ගවුමෙ යටම වාටියටත් වඩා ටිකක් දිගට තිබ්බා. පිරෙමින් තිබ්බ පපුවට තුරුළු කරන් හිටපු පොත් ටික ඇගේ දකුණු අතේ තිබ්බ දිග නියපොත්තක සුව විදිමින් තිබුනා. සුදුත් නැති , ගොඩක්ම කළුත් නැති ගෑණු ළමයගෙ මූණ දැක්කෙ මීෂා කියපු දේකට උත්තර දෙන්න ද කොහෙද ඔළුව ඉස්සුවාමයි. රවුම් මූණ , පිරිච්චි කම්මුල් , අමුතු අනුරාගික බවක් ගිලිල තිබ්බ ඇස් , හිනා වෙන කොට ටිකක් ඇරෙන තොල් මට දැනුනෙ හුරු පුරුදු ගතියක්. මේ අර එදා මීෂාගෙ පන්තියට දුවල ඇවිත් පොත දීලා ගියපු ගෑණු ළමයා....... මීෂා කාලයක් බස් එකේ එද්දි - යද්දි ඇස් දෙකෙන් බැද ගත්ත ගෑණු ළමයා. මීෂාගෙ මතකයේ අද වෙනකමුත් රැදිල ඉන්න යුවතිය , ගමට අලුතින් ආපු පෝස්ට් මාස්ටර්ගේ පොඩි දෝණියන්දැ ......... මීෂාගේ හිතේ ඉස්ඉස්සෙල්ලා ආදරයක් ඇති කරපු ඒ කෙල්ල දිහා මම ටිකක් වෙලා බලන් හිටියා.

“ හරි ලස්සනයි “

ඒ දෙන්නා රංචුවට පිටිපස්සෙන් , රංචුවට වඩා හිමින් ඇවිදින එක පටන් අරන් තිබ්බා. රංචුවෙන් මඟෑරෙන්න ඒ දෙන්නට ඕනි නැති වුනත් , රංචුවට ඕනි කරල තිබ්බ ඒ දෙන්නව මඟෑරල යන්න. ඒ ලැබුනු උත්තේජනයත් එක්ක ඒ දෙන්නගෙ ගමන බාල වුනා...

රංචුව ඈතට ඈතට නොපෙනී යද්දි , කෝච්චි පාරේ තිබ්බ බිම්ගෙය මේ දෙන්නගෙ ළඟටම එද්දි , මෙච්චර වෙලා ඇයට ටිකක් ඈතින් ගියපු මීෂා කොච්චි පාරේ තිබ්බ සමාන්තර බව බිදල දාලා ඇගේ ළඟට ටිකක් ළං වෙනව මට පෙනුනා.

බිම් ගෙයි සීමාවටම එද්දි වගේ ඇගේ අතින් අල්ල ගන්න තරම් මීෂා එඩිතර වුනා.......... බිම් ගෙයි කළුවර අස්සේ ඒ ජෝඩුව නොපෙනී යද්දි , මට මීෂාගෙන් අහන්න හිටිය , හැබැයි අහන්න අමතක වෙච්චි එක ප්‍රශ්නයක් ආපහු මතක් වුනා.

“ ඔයා ............. එයාගේ අර ලස්සන කම්මුල් ඉම්ඹ ද ?“

ඒක හරියටම දැන ගන්න නම් , ඊළඟ කොටස වෙනකම් ඉවසන්න වෙනවා.

ආදර ප්‍රදී 4

ආදර ප්‍රදී
4 වන කොටස


“ඉතින් කියන්න කෝ ......... බිම් ගෙයි දි ඔයා අනූෂව ඉම්ඹ ද ?“ 

“ නෑ ........ “

“ බොරු කියන්නෙපා අනේ. බිම් ගෙයි ළං වෙද්දි තමා ඔයා එයාගේ අතින් අල්ලගත්තේ , ඉතින් බිම් ගෙයි ඇතුලෙදි ඔයා එයාව ඉඹින්නෙ නැතිව නම් ඉන්න විදිහක් නෑ “

“ නෑ ....... මට ඕනි වුනේ නෑ එහෙම කරන්න. මට ඕනි වුනේ එයා ළඟින් ඉන්න. එයා දිහා බලා ඉන්න විතරයි “

“උඹෙ බොරු , දැන් බලන්න මම උගන්වන ඉස්කෝල කෙල්ලො කොල්ලො යාළු වෙලා දවස් දෙකෙන් ෆිල්ම් හොල් යනවා. දෙවෙනි සතියෙ ඉදන් රූම් යනවා , ඔයා මට කියන්නේ අච්චර පෙරුම් පුරල යාලු වෙච්චි , අච්චර ලස්සන ගෑණු ළමයගෙ කම්මුලක් ඔයා ඉම්ඹෙම නෑ කියල ද?“

“ ඔයා විශ්වාස කරා හෝ නොකර . ඇත්තටම මට එහෙම දෙයක් කරන්න ඕනි වුනේ නෑ. “

මෙච්චර වෙලා එයාගේ කකුළ දෙක ගාවට වෙලා නට්ට කොඩිය දාලා වගේ උස්සන් කකුලෙ ගෑවි ගෑවි එහා මෙහා ගියපු තඩි පර්සියන් පූසා එයාගේ ඔඩොක්කුවට නැගල ඉස්සරහ ගාත් දෙකෙන් ඉස්සිලා මීෂාගේ මූණේ උගෙ මූණ අතුල්ලන්න ගත්තා.

මෙච්චර වෙලා හැංඟිලා තිබිච්චි අර ලස්සන නල දත පේන්න මූණ පුරාම ඒ හිනාව පුබුදන්න පර්සියන් පූසට පුලුවන් වෙච්චි එකට නම් මගෙ හිතට ආවේ ඉරිසියාවක්.

“ හරි හරි ඉතින් මොකද ඊට පස්සෙ වුනේ .......... “ තඩි පර්සියන් පූසාට පේන්නට ඔහුගේ ඇඟේ ගෑවෙන තරමට ළං වෙමින් අසද්දී , ඔහුගේ සුපුරුදු උණුසුමින් හදවත පිරෙන්නට විය.

-----------------------------------

“ පිස්සු නැතිව බැහැපන් බන් , පනහට සීයක් දෙන්නම් බැහැපන් යකෝ “

නැමිනමේ ආරුක්කු පාලම් ඇන්දේ ප්‍රපාතය දෙසට වන්නට සමබරතාව රකින්නට උත්සාහ ගන්මින් ගමන් ගන්නා හීන්දෑරි කොල්ලෙකි. තව ඩිංගිත්තක් හුළඟං සැරය වැඩි වෙතොත් ඔහුගේ සමබරතාව කෙසේ වෙතත් ඒ හුළංසැර දරා ගත නොහී ඔහු නවතින්නේ ප්‍රපාතයේ පාමුලට පාවී ගොසිනැයි සිතුනු මගේ හුස්ම හෙලීමද නැවතුනේ ඒ හුස්ම පොදත් එකතුවී සුළං සැරය වැඩි කරතැයි බියෙනි.

“ යකෝ බැහැපන් බන් “

ඔහුට ඒ කිසිත් නෑසේ , සිරුරට ලම්භකව දෙපසට දිකු කර ගත් දෑත් විටෙක වමට ද විටෙක දකුණට ද ඇල කරමින් , විටක දකුණු පයද ඉන් පසු ඒ සීරුවටම තබන වම් පය දෙසද බලමින් ඔහු ගමනේය . 

ආයාචනා කිසිවකින් පලක් නැතැයි හැඟුනු පසු අනිකුත් කොල්ලන් පාලමේ කෝච්චි පාර වැටී ඇති දෙසින් , නමුත් බැම්මට ඉතා ආසන්නයෙන් ඔහු හා සමාන්තරව ගමනේ යන්නේ මා මෙන්ම සුළං සැර වැඩිවෙතැයි බියෙන් නතර කර අල්ලා ගත් හුස්ම සමඟිනි .

මේ ත්‍රාසජනක ගමනේ යෙදෙන්නා වෙනත් කිසිවෙකු නොව එදා බිම්ගෙයි පාමුල දී අනූෂා ගෙ අත ආදරයෙන් අල්ලා ගත් මිෂා ය. අනූෂා පෙනේනට නැත. මීෂා තම ජීවිතය රුපියල් පනහකට ඔට්ටු අල්ලා පාලම් ඇන්දේ පරඩැලක් මෙන් වැනෙමින් සිටියි. 

“ දීපන් පනහ “

ඇන්දේ කොණටම ගොස් වේගයෙන් තම යහළුවන් අතර පැන තම ත්‍රාසජනක ගමන නිම කල මීෂා , ඔට්ටු මුදල ඉල්ලන්නට විය. 

“ ඉදා ගනින් , කෙල්ලෙක් හින්දා ඔච්චරටම පහත් වෙන්න එපා බන් “ කලිසම් සාක්කුවෙන් ඇද ගත් රුපියල් පනහ දිගුකරමින් මූණ පුලුටු කර ගත් මිතුරකු පවසන්නට විය.

ගත වූ කාලය තුල මීෂා-අනූෂා පාසල් පෙම් යුවල කාගෙත් හොඳ හිත දිනාගත් පෙම්යුවලක් වූ අයුරුත් රේල් පිලි දිගේ සමාන්තරවත් , බිම් ගෙවල් තුලින් එක්ව දෑත් පටලවනුත් , මහා රූස්ස පයින් ගස් වනාන්තර තුල හීන් හඬ නංවමිනුත් සැරිසැරූයුරු මගේ මතකයේ තැන්පත් වී ඇත. 

උසස් පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වූ මේ කාලය මට මඟ ඇරුනු කාලය අතරට එක් වී තිබූ අතර ඒ කාලය තුල දී කුමක් හෝ අරුමයක් සිදු වී ඇත.

රේල් පාර දිගේ ත් , බිම් ගෙවල් ඇතුලේත් , රූස්ස පයිනස් වගා බිමේ හැම තැනම සැරිසැරුවත් ඔවුන් ගැන හාන්කවිස්සියක දෙයක් සොයා ගත නොහැකි වූ තැන මගේ විමසුම් දෑස් යොමු වූයේ මිෂාටයි ,

“ ඔය ලොකු ඇස් තවත් ලොකු කරල මගෙ දිහා බලන්නෙපා බන් , උඹ මාව විනිවිද යවන්න හදනව ඔය බැල්මෙන් “

“ බොරු වර්ණනා ඇති , කියන්න මට මොකද වුනේ කියලා , මට හොයා ගන්න බෑ ඒ අතුරුදහන් වෙච්චි කාලයෙ වුනු දේවල් “

“ එහෙනම් අහ ගන්න , දවසක් මට නිලන්ති පණිවිඩයක් එවල තිබ්බ ඉක්මනට ඇවිත් හමුවෙන්න අනූෂට හමුවෙන්න ඕනි කීවා කියල. එදා ගෙදර ආපු ගමන් මම කෑම කන්නෙත් නැතිවම එයා කියපු වෙලාවට කියපු තැනට ගියේ ඇවිදගෙන නෙමේ දුවල “
“ එතකොට ඔයාල ඉස්කෝලෙදි හමුවුනේ නැද්ද ?“

“ නෑ .......එතකොට අපි විභාගෙත් ලියල ඉවරයි. අනුෂා නම් ඉස්කෝලෙ යනවා “

“ ඉතින් .........“

“ මම ගියා කියපු වෙලාවටම ඒත් ,............... අනුෂා පේන්න හිටියේ නෑ. හැබැයි නිලන්ති ටික වෙලාවකින් ආවා “

“ ඉතින් ............“ වාඩි වී හුන් තැනින් නැගිට ගත් මා, වාඩි වි සිටි ඔහුගේ පය පාමුලින් දණිස් ඔබා වාඩි වී , ඔහුගේ දෙකලවයට දෑත් තබා බිමට යොමා ඇති ඔහුගේ මුහුණට එඹෙමින් ඇසීමි.

මද වේලාවක් මා දෑස දෙස බලා සිටි ඔහු , “ ආපහු කවදාවත් අනූෂාව හමුවෙන්න එපා , අනූෂව අමතක කරල දාන්න කියල අනුෂා කීවා කියල නිලන්ති මට කීවා “

“ නෑහ් ......... ඒ මොකද හේතුව “

“ හේතුව එයාගෙන් අහන්නෙපා කියල කීව නිසා මම කවදාවත් එයාගෙන් හේතු ඇහුවෙ නෑ “

“ අෆෝ ඔයැයි හරිම හොඳ වැඩියි අප්පා.... එතකොට හේතුවක් දන්නෙම නෑ “

“ නෑ ......... දන්නව “

“ දන්නව .......... කොහොමද දන්නේ ..........එයා කීවද ?“

“ නෑ ...හ් ........ කාලෙකට පස්සෙ මට ඒක දැන ගන්න ලැබුනා ...............“

“ ඉතින් අනේ මොකක් ද හේතුව “ රිදෙන දණහිස නමා බිම වාඩි වී ඔහුගේ උකුලේ හිස තබා ගත ඉරියවුවෙන් , ඒ පැණයට දැන්මම පිළිතුරු අවශ්‍ය නැතැයි සිතූ ඔහු , ඔහුගේ මැජික් ඇතැගිලි මගේ හිස පුරා යවන්නට විය............

“ අනුෂත් හරියට අර පර්සියන් පූසා වගේ , එයාට ඕනි වෙලාවට විතරයි එන්නේ “

“ ඔයා ඉතින් ඌත් එක්ක ඉරිසියයි නේ “ 

ඇත්තටම ඇයි කෙල්ලෙක් කොල්ලෙක්ගෙ කිසිම වරදක් නැතිව දාලා යන්නේ ? ඒක ඔයා යි මමයි හිතන තරම් ලේසි පාසු දෙයක් නෙමෙයි........

ඒක දැන ගන්න නම් ඊළඟ කොටස කියවන්නම වෙනවා........

ආදර ප්‍රදී 5


ආදර ප්‍රදී
5 වන කොටස


“ ඉතින් කියන්න , ඇයි එයා ඔයාව දාලා ගියේ “
මගේ හිස පුරා තාලෙට දුවන ඔහුගේ අතැගිලි මගේ අතින් නවතා ඔහුගේ මුහුණ දෙස බලමින් ඇසුවේ මෙවර නම් උත්තර නොදී මඟෑරින්නට දෙන්න බැරි නිසා ය.
“එයා දවසක් මම එයාට දුන්නු ඔක්කම ලියුම් , පුංචි පුංචි තෑගි ඔක්කම පාර්සල් කරල අරගෙන ආවා “

“ කොච්චර වුනත් හොඳ කෙල්ල , ගතපුවා දෙනවා “

“ ඔවු මගේ හිත ඇර “

“ හරි හරි කියන්නකො ඉතින් මොකද වුනේ ?“

“ ගෙනාපු පාර්සලේ මට දීලා ,එයා කීවා , එයා දීපුවත් එක්ක ඔක්කම පුච්චල දාන්න කියලා “

“ ඉතින් ඔයා ඔක්කම පිච්චුවා “

“ නෑ..................ඒ ඔක්කම ප්‍රදීට දුන්නා“
“ ඉතින් එදා වත් කීවද ඔයාව දාලා යන්න හේතුව“

“ නෑ ..... මම හේතුව දැන ගත්තෙ පස්සෙ කාලෙක යාළුවෙක්ගෙන් “

-------------------------------

ඈ ඔහු හැර ගියේ සීතල දෙසැම්බරයක වුවත් ඒ සීත කාලය පසුවෙන්නටත් කලියෙන් , ඔහුගේ විරහ සිත වේදනා වැඩි කරමින් අනූෂා යළිත් පෙමක පැටලුනාය. එයද ඔහුගේ යහළුවෙකු සමඟිනි. 

ඒ වන විට නොයෙකුත් විවිධාකාර අරමුණු කරා සිත යොමු කරමින් පෑරුනු රිදුන සිත සුවපත් කර ගැනීමට මීෂා උත්සාහ කරමින් සිටි අතර දුම්පානයත් , කරාටේ ඉගෙනීමත් ඉන් ප්‍රධාන තැනක් ඉසිලීය.

මා ඔබට ප්‍රදී ගැන කීවාදැයි මට හරියටම මතක නැතත් තැන් දෙක තුනක හැරුන විට ඒ නම සඳහන් නොකිරීම ත් මෙම කතාන්දරයේ ප්‍රධාන මාතෘකාව “ප්‍රදී“ වීමත් ඔබගේ සිත විමතියට පත් කරන්නට ඇත. අනූෂාගෙන් කතාන්දරය ඇරඹිය ද ඇත්තෙන්ම මෙය ප්‍රදී ගේ කතාව බව මට ද අමතක වී යාමට තිබුනි.

ප්‍රදී යනු තලෙළු පැහැති , ඉතා සිහින් සිරුරැති මීෂාගේ සිත වඩා පැහැර නොගත් මීෂාගේ මිතුරු ලැයිස්තුවේ නිතර සඳහන් නොවූ නමුත් ඔහුගේ පන්තියේම සිටි කෙල්ලෙකි. ඇයද පෙම් සබධතාවයක පැටලී සිට ඉන් විරහව පමණක් උරුම කර ගත්තියක වූව ද මීෂා මෙන් විරහවේ ගිලී සිටිනු දැකිය නොහැකි විය.

විවාහයෙන් දුරස් වූ දෙමාපියන්ගෙන් පියාගේ පාර්ශවය තෝරා ගත් ප්‍රදී , ඇඳුමෙන් පැලදුමෙන් මෙන්ම හැසිරීමෙන්ද විශේෂ වූවාය .

දිගු කලිසමින් නිතර සැරසුනු ඇය , ගිටාර් වාදනයට සමත්කමක් දැක්වූවාය. මව හා පියා ගේ විතැන් වීම පිළිබඳව එතරම් තැකීමක් නොකල අයෙකු ලෙස සතුටින් හැසිරුනාය. 

දහවල වෙන විටත් පරිසරයේ තුරන් නොවූ මීදුම් පරිසරය මීෂාගේ විරහ සිත මෙනි. හිතේ මීදුම් වැඩි කරමින් “අනූෂා“ පැමිණ තිබුනේ ඇය වෙත ඔහු එවූ ලියුම් මිටියක් ද ඇයට ඔහු විසින් ලබා දුන් පුංචි පුංචි අනම් මනම් සියල්ල ද ඔතා ගෙනය.

“ මේවා ඔයාට මම දුන්නු ලියුම් එක්කම පුච්චල දාන්න “

කිසිත් නොකියා ඈ දුන් සියල්ල ලබා ගත් ඔහු තමන්ට පිටු පා යන ඇගේ දිගට ගොතන ලද මහත කොණ්ඩ කැරැල්ල, තාලෙට ඇගේම නිතඹේ වැදෙන අයුරු බලා සිටියේ අරමුණකින් තොරව නමුත් ආදරණීය සිතකිනි. ඇගේ දිගු කොණ්ඩ කැරුල්ලනේ ඇද ඇයව තරහ ගස්සන අයුරුත් , බොරු තරහක් මවා ගනිමින් ඇගේ සුමුදු අත්ලෙන් ලැබෙන පහරවල් විදින අයුරුත් මැවී නොපෙනී ගියේ ඇගේ ගමනද ඔහුගේ දෙනෙතින් වහන් වී ගොඩනැගිලි අතර අතුරුදහන් වී ගිය ලෙසිනි. ඇය එක් වරක් හෝ හැරී නොබැලීම ඔහු සිත තවත් පාරන්නට ඇත.

ලියුම් මිටිය දෙස දෙවරක් නොබැලූ ඔහු යමින් ගමන් සිගරට්ටු පහක් මිලට ගෙන උඩ සාක්කුවේ දා ගත්තේ ලියුම් පුච්චන්නට අවශ්‍ය ශක්තිය ලබා ගන්නට මෙනි.

නමුත් ඔහුගේ මිතුරු කැළ විසින් සාක්කුවට ඔබා ගත් සිගරට්ටු සාක්කුව තුළ තිබිය දීම කුඩු බවට පත් කරන්නට තරම් කාරුණික හදවත් ඇත්තෝ වූහ.

“ සෝ..භා.......ව දේ ............. මෙපුර
සිරි විසිතුරු බලනු මිතුර මඟ පියකරු වූ පාරේ එක පෙළට ගමන් කරන ගමන් එකිනෙකා කරට ද මීෂාගේ කර ටද අතදා ගත් මිතුරෝ සිවුදෙන විනෝදයෙන් මෙන් හැසිරෙන්නට වූයේ මීෂාගේ මීදුම් සිතේ මීදුම යන්නට පායන හිරු කිරණක් වන්නට මෙනි.

“ ඉන්න දියන් බන් පාඩුවේ “ තම උරහිස මත වැටුනු මිතුරාගේ දකුණත ගසා දැමූ මීෂා පැවසුවේ නොපහන් සිතිනි.

මිතුරන් සිවු දෙනාත් මුණ ඇද වුනු ඉදිච්චි ගොරක ගෙඩියක් කර ගත් මීෂාත් නගරය වෙත සේන්දු වී තිබුණු අතර ප්‍රදී සහ ඇගේ යහළුවන් කිහිපදෙනෙකු දැක ඇය හා කතා කිරිමට නැවතුනහ.

ප්‍රදී හා යෙහෙළියන් සිටින තැනට ආසන්නයේ ම සිටි කොලු රැළෙහි ඇස් වලින් සහ කතා වලින් හිරිහැර ලබමින් සිටි ප්‍රදී ට ද තමන්ගේ පන්තියේ සහෝදරයන්ගේ පැමිණීම හිතට ගෙන දුන්නේ අස්වැසිල්ලකි.

“ කොහද බන් මේ අතන මෙතන රස්තියාදු වෙන්නෙ , ගෙවල් වල ගියානම් නරකයි උඹලටත් ඈහ් “

“ ගෙවල් වල යන්න තමා ඉන්නේ. මොකද තොපි හිතුවැයි අපි මෙතන පැල වෙන්න ආවැයි කියලා , එහෙනම් ඔයාල යන්න .දැන් මේ ගොල්ලෙ ඉන්නවනේ “

තම මිතුරියන් දෙසට හැරී එසේ පැවසූ ප්‍රදී. කිසිවක් නොදොඩා නිහඬව සිටින මිෂා දෙස බැලුවාය.

මීෂා සිටියේ වෙනම ලෝකයකය. මිතුරන් සමඟින් ද නොපහන් සිතින් පසු වූ ඔහු තම සාක්කුවේ ඇති , කුඩුකර දැමූ සිගරට් කුඩු සහ කොට බිමට හැලීමට සූදානම් වූවා පමණි.

චටාස් හඬින් ඔහුගේ කණ හරහා වැදුනේ සුමුදු ගැහැණු අතක දරුණු පහරකි........

ප්‍රදී ...........
----------------------------

“ ප්‍රදී ප්‍රදී ප්‍රදී .......... නෙමෙයි. අනේ මට කියන්නකෝ අනූෂා ඇයි මෙච්චර හොඳ ඔයාව දාලා ගියේ කියලා.“

“ ඇයි ඔයාට දැන ගන්න ඕනි නැද්ද, කවුද මට කම්මුලට ගැහුවේ , ඇයි ගැහුවෙ කියලා.“

“ ඒක පස්සෙ කියන්න,ඉස්සෙල්ලා අහපු දේට ඉස්සෙල්ලා උත්තර කියන්න. ඇ...යි.......... අනූ.....ෂා... ඔයා ව දාලා...ගියේ “

තරමක් බර කර විරාමයන් සහිතව නැවතත් ඇසූ පැනයෙන් ගැලවී යාමට නොහැකි බැව් දැන ගත් මීෂා මට උත්තර බදින්නට කලියෙන් මා හිස තිබූ ඔහුගේ දකුණු අතත් , මා උරහිස මත තිබූ ඔහුගේ වමතත් ගෙන මෙතෙක් වෙලා ඔහුගේ උකුලේ සතපා තිබූ මගේ හිස තරහෙන් මෙන් තල්ලු කර දැමූ බැවින් ඔහු පය පාමුල වැතිර සිටි තැනින් නැගිට ඔහුගේ උණුසුමින් මිදී ඔහුට මුහුණ ලා සිට ගත්තේ , ඔහුගේ මුහුණ දෙස කෙළින්ම බලා පිලිතුර ම අපේක්ෂාවෙන් පසු වූයෙමි.

ටික වේලාවක් එසේ සිටි මා දෙස බලා සිටි ඔහු නැවතත් දොඩමලු වූවා නොව , මාගේ දරුණු බැල්මෙන් මිදීමට නොහැකිව දොඩමලු වන්නට සිදු වුවා සේය.

“ එයා ඊළඟට යාළු වුනේ මගේ ම යාළුවෙක් එක්ක. ඌ තමා මට කීවේ.... මාත් එක්ක කරන්න බැරි වුනු ගොඩක් දේවල් එයා එක්ක කරල. මගෙන් නොලැබුනු දේවල් හොයාන තමා එයා ගිහින් තියෙන්නේ. “

“ ඉස්කෝලෙ කාලෙ දී ඔච්චර දේවල් හිතනවද අනේ “

“ මම අතින් විතරක් අල්ලන් සැනසෙද්දි ,එයා හිතන්න ඇති මම ගේ කොල්ලෙක් කියලා “

“ඔයාගේ කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ. මට මතකයි දවසක් අපේ ඉස්කෝලෙ කට කැඩිච්චි කතා කියන සර් කෙනෙක් අලුතින් ආපු සර්ල දෙන්නෙක්ට කීව කතාවක්. එයා කීවා කෙල්ලොන්ට දේවල් දුන්නෙ නැති වුනොත් උන් අපි ළඟ රැදෙන්නෑ බන් පිට යනවා කියලා ................. ඒත් අනේ ..... අනේ මන්දා. ඔයාට එයාගේ කම්මුලක් වත් ඉඹින්න තිබ්බා. “

“ ප්‍රදී ගැන ඉතිරු ටිකත් කියන්න ද ?“

“ අනේ එපා...ඒ ටික අපි ඊළඟ කොටසට ලියමු. මට මේ ලීව ටික ගැන තව ගොඩක් හිතන්න තියනවා... “

ආදර ප්‍රදී 6

ආදර ප්‍රදී
6 වන කොටස



“ ඔයා කවද්ද දැන් ප්‍රදී ගැන ලියන්නේ “ ඊමේල් දෙක තුනක් එක පෙළට එවීමෙන් පසු ඔහු විමසයි.

“ මට ලියන්න බෑ . මට ඔයා හමුවෙන්න ඕනි “ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සැරසෙන මගේ සිත පවසයි.

“ අනේ ලියපන් බන් , දැන් කවද ඉදලද ලියනව කියන්නේ “ 

“ ඉතින් එදා ...........ප්‍රදී නේද කම්මුලට ගැහුවෙ ඔයාගේ “

“ඔවු .............එයාව ගෙදර ඇරලන්න එයත් එක්ක බස් එකට ගොඩ වෙලා , එයා ළඟින්ම වාඩි වුන වෙලාවේ , එයා දැක්කා කමිස සාක්කුවෙ තිබ්බ කුඩු වෙච්චි සිගරට් ටික , කම්මුලට ගැහුව විතර නම් මදැයි.හොඳ කුණුහරුපයකුත් කියල බැන්නා........ “

පැතිර යන නිහඬ බව බිදීමට මට නොසිතුනේ ඒ නිහඬ බවේ ද කතාවක් සැඟවී තිබුන බැවිනි.

“ හරි බන් එහෙනම් උඹ එතන ඉදල ලියපන් කතාව “ ඔහු දකුණු දත්පෙළ කෙලවර මායිම් කරන නල දත ද පේන සේ ඔහුගේ විරල සිනහවෙන් සංග්‍රහ කිරීමට තරම් කාරුණික වෙද්දී , මා සිත තුල ඇති සියළු අමනාපකම් දුරුවී යන්නේ , මීදුම් කපාගෙන පායන සූර්යයා ලෙසිනි.

-------------------------------------------

ප්‍රදී ගේ යෙහෙළියන් සියලු දෙනා පිටත්ව ගොස් තිබුනු බැවින් , ඇගේ ඊළඟ ඉල්ලීම වුයේ ඇයව ගෙදරට ඇරලන ලෙසයි. නාදුනන පිරිමි ළමයි නඩයේ එකෙකු ඇය වෙත බැල්ම හෙලීමත් , ඇගේ ආදරය පතා පැමිණිමත් ඇයට වදයක් වී ඇති බැව් දැන ගත් මිෂා ඇගේ ඉල්ලීම ඉටු කිරීමට ඉදිරිපත් විය.

ප්‍රදී ඇරලවීම සඳහා ඇයත් සමඟින් බසයට ගොඩ වූව ද නාඳුනන කොලු නඩය ද ඒ බසයටම ගොඩ වී ඇයට තව තවත් උසුළු විසිලු කිරීමට ත් ඇය වෙනුවෙන් ගෙනා චොකලට්ටුවක් ඇය වෙත බලෙන්ම ලබා දීමට ගත් උත්සාහයත් අවසානයේ දී ඉවසීමේ සීමාව පැන ගිය ප්‍රදී එක්වරම කොලු නඩය වෙත කඩා පැන්නීය.

“ තමුසෙල දන්නව ද , මේ ඉන්නෙ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් “ තමා අසල සිටි මීෂා ගේ කමිසයේ සාක්කුවෙන් ඇද කොලු නඩය වෙත පාමින් ඇය කියූ හරුපයෙන් කොලු නඩයත් මීෂා ත් වික්ෂිප්තව ගිය අතර ක්ෂනිකව ඔවුන් දොගොල්ලන් අතර ඇති වූයේ උණුසුම් වාතාවරණයකි.

බසය තුල දී ඇති වූ උණුසුම් තත්ත්වය කෙරෙහි කාගෙත් අවධානය යොමු වුනු අතර මීෂාගේ අසල්වැසි කොල්ලෙකු ගේ මැදිහත් වීමකින් සියල්ල සාමකාමීව විසදුනා මිසක එවක කරාටේ ශිෂ්‍යයකෙු වූ මීෂාත් වෙනත් කරාටේ මාස්ටර් කෙනෙකුගේ ගොල්යන් වූ කොලු නඩයත් අතර ඇති වෙන්නට තිබුනේ චීන චිත්‍රපටයක් මෙන් සටන් ජවනිකාවකි..........

--------------------------------------

“ අපරාදේ අනේ......... වලිය ක් තිබ්බ නම් කතාව චිත්‍රපටියක් වගේ වෙනවා “

“ ඉතින් ඔයා ප්‍රදී ළගින් වාඩි වෙලා හරි ආසාවෙන් යන්නැති නේද ?“

“ ඒව නම් මන් දන්නෑ. හැබැයි මම ඊට පස්සෙ සිගරට් නම් බීවේ නෑ “
--------------------------------

තරුණයාගේ මැදිහත් වීමෙන් වැලකි ගිය වලියත් , ප්‍රදීගේ වචන හමුවේ පසුබා ගිය කොලු නඩයත් , ප්‍රදී ගේ නිවසට පෙර නැවතුමකින් බැස ගත්තේ ප්‍රදීගේ සිතෙහි අස්වැසිල්ලක් ඇති කරමිනි.

ප්‍රදි ගේ නිවසට යා යුතු පාර අසලින් ඇයත් සමඟින් බසයෙන් බැස ගත්ත ද ඇගේ ඊළඟ ඉල්ලීම ද ප්‍රතික්ශේප කිරීමට තරම් සිතක් මීසාට නොවීය.ඒ ඇයත් සමඟින් පයින්ම ඇගේ නිවසට යාමයි. 

නැවතුමේ සිට කි.මි 8ක පමණ දුරක් ඇවිදන් යාමට මීෂා කැමති වීම නම් මගේ සිතට මහා ලොකු පුදුමයක් ගෙන නොආවේ , ඇවිදින්නට කීවොත් මීෂාට ඊට වඩා වැඩි දෙයක් නොමැති බැව් හොඳින්ම දන්නා බැවිනි.

මීදුම් ගලන පාර මැදින් , දඹේ තැන්න වැව පසු කරමින් ඇයත් සමඟින් ඔහු ගැනත් ඔහුත් සමඟින් ඇය ගැනත් කතා කරමින් ප්‍රදීගේ නිවස වෙත වැටී ඇති පාර දිගේ දෙදෙනා පයින්ම යන්නට විය....... 

ඒ අතර තුර වාරයේ සිදු වූ කතා බහ මීෂාගේ සිත සුවපත් කරන්නට හේතු නොවී යයි කියන්නට බැරි , මීෂාගේ බුම්මන් සිටි මුහුණට එළිය වැටී , ගොළු වී තිබූ කටට වචන ගලමින් තිබුන බැවිනි.

ඔවුන් දෙදෙනා අත් අල්ලා ගෙන නොමැති බැව් සැක හැර දැන ගත් පසු ඔවුනට මීදුම මැදින් නොපෙනී යන්නට ඉඩ හැර තරමක විවේකයක් ලබා ගැනීමට තරම් මගේ සිත ද සංසුන් වී තිබුනි.

-------------------------------

“ මොකක් ද ඒ සද්දේ ?“

“ මොන ........?“

“ ඔය ඇහෙන්නෙ ගිටාර් සද්දයක්....... මයෙ හිතේ ක්ලැරන්ස්ගෙ සිංදුවක් ද කොහෙ ද.....ගෑණු කටහඩකුත් ඇහෙනවා “
------------------------------
තවමත් මීදුමට වැසී ඇති පාරේ මීදුම මැදින් ගිටාර් වාදනය ඇසෙන මානය සොයා යද්දි ක්‍රමයෙන් ළං ළං ව ඇසුනු මිහිරි ගැහැණු කටහඬට , අතරින් පතර එකතු වන මීෂාගේ කටහඬ හඳුනා ගැනීමට මට හැකි විය.

“ සිහින ලොවක් .........තිබුනා...........මතකයි ............“
“ සිහින ලොවින් ..... ආ..........වා......... මතකයි ........“ 

ආසන තුනේ දිගැති පුටු සෙටියේ දකුණු කොණේ පුටුවෙන් මීෂා වාඩි වී සිටි අතර , එතැනම පුටු ඇන්දේ වාඩි වී සිටියේ ප්‍රදීය.

ප්‍රදීගේ සිහින් ඇගිලි තුඩු ගිටාරයේ එහා මෙහා යන අතර තුරේ , ප්‍රදීගේ දෑසේ ඇහිබැමි ගීතයේ තාලයට උස් පහත් වෙමින් ද ඇගේ දෑසේ බැල්ම ,ඔහුගේ දෑසේ බැල්ම හා වෙලෙමින් ද ගීතය ගලා යන්නට විය........

එය තව දුරටත් බලා සිටිනු නොහැකි බවක් හැඟී ගියෙන් නිවසේ හාත්පසට යොමු කල මා දෑසට හසු වූයේ , කුඩා රවුම් කෑම මේසය මත ආහාරයට ගෙන ඉතිරි වී තිබූ ව්‍යෑංජන පීරිසි , හැදි සහ එක මත එක තැබූ ඉඳුල් පිඟන් දෙකකි.

සෝබරව තිබූ මීෂාගේ මුහුණට එළිය වැටී තිබෙනු දැකීමත් මා දුටු දා සිටම ඔහු ගේ දෑසේ පැලද සිටි කණ්නාඩි අතුරින් දුටු දෑස් වල කාන්තියත් දැක හිත හදාගත් මම ආපසු මීදුම් පාර දිගේ එද්දී ..........ගීතවත් වූ දෙදෙනාගේ ක්‍රමයෙන් වියැකී යන හඬට ප්‍රතිලෝමව මගේ හදවත දුකින් පිරෙන්නට වූයේ ඇයි දැයි නොදැනුන මුත් ඊළඟ කොටසට ප්‍රදී පිළිබඳ වැඩි දුර තොරතුරු එකතු කිරීමට මීෂා ඇමතීමට සිතා ගත්තෙමි.


අප හදවත් ඒ............ නොමියෙන ලෙස බැදි........
ආදරයෙන් පිරුණා........මතකයි

සිතට දැනෙන සුව...........

ගතට දැනෙන .............බව

ඔබ ......ර........හ.......සින්..............


කී....................වා.................මතකයි...................

ආදර ප්‍රදී 1- නොපියවුනු උඩ බොත්තම්

ආදර ප්‍රදී 1- 
නොපියවුනු උඩ බොත්තම්   


මේ කතාව “මගේ කතාව “ නෙමෙයි. නමුත් මේ කතාව නිසා උපන් කතාව මගේ කතාවේ කොටසක් වෙමින් පවතින බව හැඟෙමින් පවතිනවා. මේ කතාව කොහෙන් කොහොම පටන් ගන්නද , පටන් ගත්ත ද කියලා මට මතක නෑ. මතක් කරන්න ඕනි ත් නෑ. මට ඕනි මේ කතාව කොහෙන් හරි පටන් අරන් ලියල , ඔහුට වෙච්චි “පොරොන්දුව“ ඉටු කරන්න . 

මේ කතාව කියන කෙනාව මට හමුවෙන්නේ “ෆේස් බුක්“ වලින් , ඒ වගේම ඔහුව මම ප්‍රථම වතාවට දකින්නේ කොළඹ දි. ඔහු ගැන විස්තර කරන්න මට වචන නෑ.ඒත් තියන වචන වලින් හරි ඔහුව විස්තර නොකර ඉන්නෙක ඔහුට කරන මදි කමක්.

ඔහු මට හමුවෙද්දි , ඔහුගේ කුඩා කාලය , යොවුන් කාලය වගේම සුන්දර තරුණවියත් ගෙවිල යමින් පැවතුනත් කඩවසම් යෞවනයෙක්ගෙ ශේෂයන් හොයා ගන්න අපහසු වුනේ නම් නෑ.

මධ්‍යම ප්‍රමාණයේ උස සිරුරක් , මැදිවියේ දී උරුම වන විදිහේ මහතක් , හීනියට කැරලි ගැසුනු කොණ්ඩයක් , සුදු පැහැති සමක් ඇති ඔහුගේ කණ්නාඩියෙන් යට වෙච්චි ඇස් වල තරුණකම දිලිසෙමින් තිබුනා.මදක් රතු පැහැති වෙච්චි යටි ඇහි පිහාටු, නිරායාසයෙන් උපදින අවංක හිනාවෙදි විතරක් පේන නල දත ඔහුටම ආවේණික ,මට අමතක නොවන ඔහුගේ ලස්සන එක්ක මතකයේ රැදුනා.

ඔහු එදා ඇදගෙන හිටපු කමීසයේ පාට මොකක් ද කියල මට මතක නැති උනත් කමිසයේ නොපියවී තිබුනු උඩ බොත්තම් එදා නම් මගේ සිතේ ඇති කලේ නොපහන් හැඟීමක්.

ඔහුගේ ජීවිත කතාවේ මැදකදි හමුවුනත් , නොදැන සිටි ළමා කාලයත් , සොඳුරු යොවුනයත් , විටෙක දුක්බර විටෙක සුන්දර තරුණ වියේ බොහෝ තැනුත් මගෙ මතකයේ තැන තැන රැඳිල තියෙන්නේ කතා අඩු මගේත් කතා වැඩි ඔහුගෙත් රසවත් සංයෝජනය නිසාම වෙන්නැති.

කතා කියන ඔහුගෙ දිලිසෙන , තෙත් වෙන ,හිනා වෙන ඇස් දිහාත් , නල දත පේන්න පිපෙන හිනාව නිසාත් ඒ කතා වල තියන අව්‍යාජත්වය ගැන මට දෙවරක් හිතන්න ඕනි වුනේ නැති නිසා “නොපියවුනු උඩ බොත්තම් ගැන ඇති වුනු හැඟීමට “ සමාව දෙන්න මට පුළුවන් උනා විතරක් නෙමෙයි ලියන්න ගියපු ඔහුගේ කතාව යටපත් වෙලා ගිහින් අපි අතර අලුත් කතාවක් මතුවෙන්න ගත්තා. ඒත් විටින් විට “ මගේ කතාව ලියන්නැද්ද?“ කියල ඔහු මතක් කරන සෑම විටකම නූල් බෝලයක් වෙච්චි ඒ කතාව කොහෙන් කොහොම පටන් ගන්න ද කියල මට හිතා ගන්න බැරි උනා.

කෙනෙක් ගෙ ජීවිත කතාව පටන් ගන්නේ උප්පතියෙන් , අන්න ඒ නිසා එයාගේ උපත සිද්ධ වෙච්චි ඒ සුන්දර පළාතෙන් ම මම කතාව පටන් ගන්නම්. මට නම් ඒ පළාත නිවාඩුව ගත කරන්න සීත කබා ඇදන් යන ලස්සන ලොකු මල් පිපෙන සීත පළාතක් වුනත් එයාට නම් ඒ පළාතේ හැම ගහක කොළක ඇළ දොළකම ලියැවෙච්චි එයාගේම කතාවක් තිබ්බා. ඔහුටම හිමි “ නිහඬ සුන්දර සීතල හදවතක් “ ලැබෙන්න මේ පරිසරය කුමන්ත්‍රණය කරන්න ඇති කියලත් මට හිතුනා. ඒ වගේම ඒ පරිසරය ට ගොඩක්ම ආගන්තුක වෙච්චි , ඒ පරිසරයේ හැම රහසක්ම “ගුප්ත රහසක් “ වෙච්චි මට ඔහු ගැන ආපහු හිතද්දි , ඔහුගෙ කතාව කියද්දි වගේම මේ දැන් වගේ ලියද්දි , ඒ සීතල පළාතේ සීතල ගුප්ත දුමාරගතිය මගේ වටේ එතෙනව වගේ මට දැනෙනවා.............

මේ පුංචි විස්තරෙන් පස්සෙ හැම කොටසකම “ඔහුගේ කතාව “ ටිකින් ටික ලියැවෙනවා..........

ආදර ප්‍රදී - ආයෙමත් අලුතින්

ආදර ප්‍රදී - ආයෙමත් අලුතින්                                                   රැළි තැබූ සුදු ගවුම් ඇදපු ගැහැණු ළමුන් ‌ගේ රැළි වැටුණු මුහුණු,...