Thursday, 10 October 2019

ආදර ප්‍රදී - ආයෙමත් අලුතින්

ආදර ප්‍රදී - ආයෙමත් අලුතින්




                                                  රැළි තැබූ සුදු ගවුම් ඇදපු ගැහැණු ළමුන් ‌ගේ රැළි වැටුණු මුහුණු,  සුදු ගවුම් පටිය වටේට ඒතුන හීනි ඉනවල් වටා වැටුනු ටයර් වාටි සමඟින් වුවත් තවමත් ඔවුන් ඒකිනෙකා හඳුනා ගන්නට ‌‌‌රැළි ගැහුන මූනු වල ශේෂව තිබූ නොවෙනස් සිනා වලට හැකිවිය.
                                                          ‌ගෙවී ගිය කාලය කොතරම් දැයි දැනෙන්නට , තමන්ගේ සමකාලීනයන් හමුවන ‌මෙවැනි මොහොතවල් මිසක වෙනත් අගනා වේලාවක් නොමැත්තේ හැමදෑමත් දකිනා උන්ට තමාත් , හැමදෑම දකිනා තමාත් කිසි විටක වෙනසක් නොපෙන්වන බැවින් වන්නට ඇත. නමුත් වසර ගණනාවක් එක දිගට ආශ්‍රය කරමින් දිනපතා හමුවෙමින් සිට තවත් වසර ගණනාවකට වෙන් වී ගොසින් ආරංචියක් පවා නැතිව ගොසින් නැවත හමුවන ‌ මෙවැනි මිතුරන් , තමන් කෙතරම් කාලයකින් කෙතරම් සීඝ්‍රයකින් වයසට ගොස් වෙනස්වී ඇතිදැයි පෙන්වන කැඩපත් වැනිය.

                                 ඒවන් දවසක පන්තිකාමර පිරී ඉතිරී ගියේ වැඩිමහළු ගතත් බොළඳ ‌මතක ඉතිරූ හිතත් උස්සන් නැවතත් පාසල් ආ ‌කොල්ලන් සහ කෙල්ලන් ගෙනි. ඒ අතරින් ඇතමුන් තරුණ කාලයේ මතකය පමණක් ඉතිරි කරමින් ඒ වන විට ද ලෝකය හැරදා ගොස් තිබුණ අතර තවත් ඇතමෙක් නොසිතූ තරමට තරුණ සුන්බුන් තාමත් දරන්නට පිං කර තිබූ අය වූහ.

                                  පන්ති කාමරය අතර තම සිත අතරමන් කරමින් හිතේ නුපුරුදු සුවඳ ගැල්වූ කෙල්ලන් , හීත කීරි ගැස්සූ කොල්ලන් තමන්ගේ පවුලේ දරුවන් කරනා කියනා දේ යහළුවන් සමඟින් බෙදා ගත්තේ , අහිමිව ගිය සමහර ‌අයවලුන් අහිමි වූ රසය , නව රසයන් සමඟින් මිශ්‍ර කරමිනි.‌

                               ‌කෙල්ලන්ට , තම සිතැති ආදරය නොපැවසූ  එක් වයසක කොල්ලෙකු ඇයට ඒ බැව් කියන්නට මේ හමුව යොදා ගන්නා විට ඔහු රටේ නම ගිය කතුවරයෙකුව දුවා දරුවන් ලබා වයසට යමින් සිටි අතර සිත්ගත් කෙල්ල " මාත් ඔයාට ඒ කාලේ කැමැත්තෙන් හිටියේ " කියන විට උස් මහත් වූ දරුවන් තිදෙනකුගේ මවක්ව සිටියා ය. 

                                    මේ සියළු කතා අතරේ ඇයත් සිටියා නම් හොඳ නොවේදැයි මීෂා සිතූවත් ඇය තම තරුණ වයසේ මතකය පමණක් ඉතිරි කර , වරද ඔහුගේ සිත මත බරට පටවා නික්ම ගොස් තිබුණි. තමාත් ඇයත් මේ ලියනා මමත් ඇගේ මිතුරියන් කිහිපදෙනෙකුත් දන්නා ඒ ආදර කතාව තරුණ වියේ දීම නිමා වීම එක්තරා ආකාරයකට හොඳ වූත් තවත් ආකාරයකට ඉතාමත් දුක්බර වූත් එකක් බැව් ඔබ මා කීවාටම පිළිනොගෙන මේ බ්ලොග් එක මත ඇති ලින්කු දිගේ ගමන් කරමින් සොයා ගන්නාවට මම ඉතා කැමැත්තෙමි. 

          එතකුදු නිමා කළ මේ කතාව යළිත් ඇද ගෙන ලියන්නේ මිය ගිය ප්‍රේමවන්තියකගේ මතකය පමණක් නොව ඇගේ දිවිනසා ගැනීමට එකම හේතුව බවට ද පත් වූ ඔහුගේ සිත රැඳි දුක නිසාම හමුවූ මා ද ‌ෙමේ වන විට ඔහුගේ ජීවන කතාවේ සැලකිය යුතු තැනක් හිමිකර ‌ෙගෙන සිටින නිසාවෙනි.

         ප්‍රදී ..................ඇය ඇත්තටම මිය ගියා ද.........................? ඉතිරිය ඊළඟ ‌ෙකොටසින් 

Sunday, 27 May 2018

කුමාරි

කුමාරි

======


කුමාරි හැමදෑම ඇන්දෙ එකම මෝස්තරේ ගවුම්.ඒ හැම ගවුමකම බෝරිච්ච් අත් දෙකක් තිබ්බා. ඉන ලගින් පහලට රැලි රැලි වටයක් ගත්ත සාය කොටසක් තිබ්බා. ෆයිල්ලෙක ඇදුමෙ කොටසක් වගේ පපුවට හිර වෙලා තිබ්බා. දිග කොන්ඩෙ කරලට ගොතල පිට මැද්දෙන් පහලට ගිහින් ගවුම් වාටියත් පහු කරල තවත් පහල ට ගෙතිල තිබ්බා.ඉද හිට එක ගවුමක් විතරක් වෙනස් උනේ මෝස්තරෙන් නෙමෙයි.මහපු රෙද්දෙන්. බොහොම දුහුල් සාරි රෙද්දක් වගේ ගවුම් රෙද්ද අස්සෙන් , කුමාරිගෙ ඇගේ රස තැන් පේන්න ගත්තා.කොල්ලො ඒව ඇහෙන් විතරක් නෙමෙයි වචන බවටත් පත් කරල රස විදිද්දි මීශා කලේ ඇය තනි උන වෙලාවක ඇයට කෙලින්ම ඒ ගැන කියනෙක. " කුමාරි...ඔය ගවුම අදිනකොට වෙස්ට් එකක් අදින්න " ඔහුගෙ වචන වැරදියට වටහා නොගත් කුමාරි ඉන් පස්සෙ ඉදල වෙස්ට් අදින්න පුරුදු උනා. 
" කුමාරි කොහෙ කෙනෙක් ද " 
" අම්බෝ...එයා හෙන ගමක. එයා කෝච්චියෙන් බැහල ගොඩක් දුර පයින් යනව. ඊට පස්සෙ බොහොම පටු ඒත් දිග පඩි පෙලක් බහිනව. ඒ තරම් දිග පඩි පෙලක් මන් තා වෙනකම් දැකල නෑ "
" තකහනියක් කුමාරි මතක් උනේ ?" 
අද මන් වැස්සෙ වාහනෙ එලවන් එනකොට බෝරිච්ච් අත් දාපු , ඉනට රැලි රැලි සායක් දාපු ගවුමක් ඇදන් පාරෙ යන ගෑන් ළමෙක් දැක්කා " 
" ඉතින් ඔයාට කුමාරි මතක් උනා..." 
" ඔව්... ඊලගට මට මතක් උනේ උඹව " 
" ඔව් ඉතින්...කොයි වෙලේ කුමරි ගැන මට කියනව ද කියල මාව මතක් වෙන්න ඇති " 
කෙල්ලොන්ගෙ මතක වලින් හිත පුරවන් ඉන්න එයාගෙ හිනාව ට මාත් එකතු උනා...

Saturday, 3 March 2018

ආදර ප්‍රදී - අවසන් කොටස


ආදර ප්‍රදී - අවසන් කොටස 







ඇය ගැන මතකයට අමතරව ඇය පිළිබඳව සුරැකිව ඇති එකම සිහිවටනය වන්නේ මුද්දරයක තරම ගත් ඇගේ උඩුකය පින්තූරයකි. උරිස් ඇට ඉලිප්පී පෙනෙන ඇගේ කෙසඟ උඩු කය පටි ගවොමකින් සැරසී ඇත.පටි ගවොමේ පටි අතර රෑලි තීරුවක් දිවෙන්නේ පහළට හැලෙන රැළි ඇගේ කුඩා පපුව මතට වැටෙන පරිදිය. මේ පටි ගවොම ඇය තරමටම ඔහුගේ මතකයේ තැන්පත් වී ඇත්තේ ඇය නිතර නිතර ඒ ගවොම ඇදි නිසාම පමණක් නොවේ.


ඇය නිතරම අදින මේ පටි ගොවොමේ පටි දෙක අස්සෙන් එළියට පනින ඇගේ යට ඇඳුම දුටු කිහිප විටක් ම එය වෙනත් කොල්ලන්ගේ කතා බහට හෝ නෙතට ලක්වනු ප්‍රිය නොවූ ඔහු නිතරම ඇයට ඇවිටිලි කරේ ඒ ගවොම නාදින ලෙසටයි. නමුත් ටික දිනකට පසු නැවතත් ඇය ඒ ගවොමම අදින්නට පටන් ගෙන තිබුනු නමුත් කොහෙන් හෝ සොයා ගත් පිත්තල පැහැති ඉතා කුඩා ආයකටු දෙකකින් ඇගේ යට ඇදුමේ පටි , ගවොමේ පටි වලට අල්ලා හිර කර තිබුනේ යලිදු ඒවාට එළියට පනින්නට ඉඩක් නොදෙන ලෙසිනි. 

වඩාත් හොඳින් නිරීක්ෂණය කල විට පමණක් දැකිය හැකි ඒ පිත්තල පැහැති කුඩා ආයකටු දෙකත් ඇය මෙන්ම සිහින්ව වඩාත් හුරුබුහුටිව ඇගේ කෘශ උරහිස් මතට වී සැඟවී සිටියා ඔහුට මතකය. ඇය එවූ පිටු ගණන් දිග ලියුම් ද , පිටු බාගෙ හදිසි කෙටි ලිපි ද , මතක සැමරුම් කාඩ් පත් ද සමඟින් මේ කුඩා මුද්දර ප්‍රමාණයේ පින්තූරය ද වසර විස්සකට පසුවත් ඔහුගේ කාර්යාල මේසයේ යටම ලාච්චියේ සුරැකිව තිබුණි.

ඉඳහිට දිනක තම කාර්යාල මේසයේ යටම ලාච්චුව හරින ප්‍රධානියා ඉන් යමක් පිටතට ගන්නා අයුරුත් වරු ගණනක් ඒ දේවල් සමඟින් ගත කරන අයුරුත් එදිනට වෙනත් කිසිවෙකුත් සමඟින් සිදුකරන කතා බහ අත්‍යාශ්‍ය දෙයකට පමණක් සීමාවන අයුරුත් හොඳින් නිරීක්ෂණය කලේ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය පමණි. දිනක් ඔහු නැති වේලාවක් බලා යටම ලාච්චුව විවෘත කළ ඇය එහි ඇති පෙම් හසුන් සියල්ලත් පින්තූරත් පුලුස්සා දැමීමට තරම් එඩිතරවී තිබුනා පමණක් නොව , එසේ කිරීමට හේතු ලෙසට ඔහු විවාහකයෙකු බවත් දරු දෙදෙනකුගේ පියකු බවත් මතක් කර දීමටත් අතීතය යනු නැවත නැවත ස්මරණය කරමින් ගිලී කිමිදිය යුතු මතක විලක් නොවන බව පැවසීමට තරම් එඩිතර එකියක වූවා ය...

නමුත්....ඇගෙන් ද ගිලිහී ගිය මේ පුංචි මුද්දර සයිස් පින්තූරය ලාච්චුවේ අඩියේ ලෑලි දෙකක් අතර හිඩැසක සිරවී තිබී ඔහුට හමුවූයේ හදවතේ හිඩැසි තැනක ඇය ගැන මතකය පෑරි පෑරි තිබෙනා ලෙසටමය.........

ඔහු ළඟ තිබී දැන් මා ළඟට ලැබී ඇති ඊමේල් ලිපියෙහි ඇති ඇමුණුමක් ලෙසින් ඇති ඇගේ පින්තූරය දෙස මා කීපවතාවක් බැලුවාදැයි මතක නැතත් ඇගේ රුව මා මනසින් නම් ලෙහෙසියකට ගිලිහී නොයනු ඇතැයි මට සිතේ. 

ඇය එතරම් රූමත් එකියක නොවුවා ය. නමුත් ඈ සතුව දීප්තිමත් නෙතු සඟලක් හිමිව තිබුණි.ඒ සියල්ලටම වඩා ඔහුගේ හද ගැඹුරේ අදටත් පැල පදියම් වී ඇති ආදරය දිනා ගන්නට ඇය සමත්ව සිටියා ය. නමුත් එදා නුවර රැජිණ හෝටලය ඉදිරිපිට ඔහු එනතෙක් මඟබලා සිටි දිනට පසුව වසර විස්සකටත් වඩා කාලයක් ගත වී තිබුන ද ඇය ගැන කිසිදු විස්තරක් ඔහු සතු නොවී ය.ඇගේ අසරණ ජීවිතය ආගාධයෙන් ගොඩ ගැනීමට තමන් දී තිබූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා ඔහු සිත වඩ වඩාත් කම්පාට පත් වී තිබුණි. ඇය කොහේ හෝ සතුටින් සිටිනු ඇත කියා සිත හදා ගන්නට ඔහුට නොහැකි වූයේ එබැවිනි. 

ඔය අතර තුර දී ඔහුගේ පාසලේ මිතුරන් විසින් සංවිධානය කරන ලද  ඔහුගේ කණ්ඩායමේ මිතුරු හවුලකට ඇරයුමක් ඔහුට ද ලැබී තිබුණි. එය දුටු වහාම ඔහුගේ සිත තුල වූ බලාපොරොත්තු නැවතත් අලුත් වූයේ ඇය ගැන තොරතුරක් දැන ගැනීමේ බලවත් ආසාව එතරම්මව දැඩි වූ බැවිනි. නමුත් .......... අවාසනාවක මහත , ප්‍රදී ගැන කිසිදු විස්තරක් දත් කිසිවෙකු හමුවට සහභාගීවූවන් අතර නොවී ය. නමුදු ඇගේ එක් මිතුරියක හෝ හමුවට සහභාගී වී නොතිබුනු අතර ඇය හා පාසල් පැමිණි එක් මිතුරයක් පියයුරු පිළිකාවක් වැලදීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් පසුවන බැව් දැන ගන්නට ලැබුනෙන් ඇයගේ සුව දුක් විමසීමට යාමට  ඔහු එක් දිනක් වෙන් කර ගත්තේ තම දියණියත් කැටුව එහි යාම ට ඔහුට සිදු විය.

සාධාරයෙන් පිළිගත් මිතුරියගේ රූප සෝබාව ඒ වන විට බෙහෙවින් වෙනස් වී තිබුණේ ඇය වයසට යාමටත් වඩා ඇගේ සෝචනීය අසනීපය නිසා ය. දිගු වරලසක හිමිකාරියක්ව සිටි ඇය පාසල් යුවතියක්ව සිටි කාලයේ දී බොහෝ සෝබමානව සිටියා ඔහුට මතකය. ප්‍රදී සමඟින් ඉතා  සමීප මිතුරුකමයක් එවක ඇයට තිබෙන්නට ඇතැයි ඔහු අනුමාන කර තිබුණි. නමුත් නිතරම තමන් ළඟ දැවටෙන දියණියත් අසනීපයෙන් පසුවන මිතුරියත් හමුවේ “ ප්‍රදී “ ගැන සෘජුව විමසීම අපහසු වුව ද ,  ඉඩක් ලද සැණින් “ ප්‍රදී ට කොහොම ද? “ විමසීමට තරම් වසර විස්සක් ඉවසූ සිත නොයිවසිලිල්ලට පත් වී තිබුණි.

ඔහු දෙස සෘජුව බැලූ ඇය , වහා ඔහු ගේ දෑස් මඟහැරියේ ඔහු ඇසූ පැණය ද එලෙසින්ම මඟහරිමිනි. ඒ මඟහැරීමේ ඉරියව්ව තුලින් ඇය නම් කුමක් හෝ තොරතුරක් දන්නා බැව් ඔහුට ස්ථිර වූයෙන් ඇගේ මුහුණට නැවතත් එඹුනේ මෙවර නම් පිළිතුරක් නොදී මඟහැරීමට නොහැකි ලෙසට. ඔහුගේ තීක්ෂණ දෑසේ සටහන්ව තිබූ ආයාචනය මඟහැරිය නොහැකි තරමට ප්‍රබල වූයෙන් මෙතෙක් කල් මා අකුරු කරමින් ආ කතාවේ “ ආදරණීය ප්‍රදී “ ගේ ඉරණම සැලකර සිටිමට ඇයට සිදු විය.




-----------------------------------------


පසු කතාව -

එදා සිට අද දක්වා ගත වූ කාලය තුලදි ඇගේ ඉරණමේ එකම වගඋත්තරකරු තමන් යැයි ඔහුට නිතර නිතර සිහිවේ. එකම නුවරක කිලෝමීටර් කීපයක් දුර දෙතැනක ඇය ඔහු එනතෙක් බලා සිටීමත් , ඒ කිසිවක් නොදැන ඒ නුවරම තැනක කාමරයකට වී ඔහු මිතුරන් සමඟින් ගත කිරීමත් සිහිවන විට දී ඔහුගේ සිත දුකින් පිරී ය යි.සතියකට දෙතුන් දවසක් රැජිණ හෝටලය ඉදිරිපස ඔහු එන තෙක් ඇය බලා සිටි තැන නැවතී සිටිමින් ඇය සිටින්නට ඇති අයුරු මතක් කර ගනිමින් සිත පාරවා ගනිමින් වේදනා විදියි.


අවසානයේ මේ කිසිදු දෙයකට කොහෙත්ම සම්බන්ධයක් නැති මා සොයා එන ඔහු ප්‍රදී ගේ දිවිනසාගැනුමට ඔහු කෙලින්ම වගකිවයුතු දැයි අසයි............ 


ඔහුගේ සිතැඟි ගැන , ඔහු ගැන කිසිවක් නොදන්නා මා පවසන්නේ “ ඔවු , ඔයාත් වැරදි තමයි “ යන්නයි..... ටිකින් ටික ප්‍රදී ගේ කතාව ඔස්සේ ප්‍රදීටත් වඩා ඔහුව හඳුනා ගන්නට අවස්ථාව සැලසෙන විට ඔහුට කියූ කතාව වෙනස් කර ගන්නට ඇත්නම් යැයි මට සිතුනු වාර අනන්ත ය.

මිනිසුන් ගෙනෙනා ආයුෂ වලට තවත් කෙනෙකුට වගකිව හැකි නොවන මුත් ජීවිතයේ යම් යම් තීරණ ගන්නා විට දී ඔවුන්ගේ ජීවිත වල පුරුකක් වී සිටින අපටද එහි කොටසක් වීමට සිදු වීම නොවලැක්විය හැකි කරුණකි....... 

නමුත් ඔහු ඇයට කෙතරම් ආදරේ දැයි දන්නා එකම ප්‍රාණියා මම වෙමි.මිය ගිය පසුත් ඔහුගේ ආදරයක සෙවනේ ජීවත් වන ඇයට කෙසේ මේ ගැන පවසන්නේ දැයි නොදැන , අවසන කලහැකි එකම දෙය මෙසේ බ්ලොග් පිටු කීපයක අකුරු අතර ඒ ආදර කතාව තවරා තිබීමට ගත් උත්සාහයේ අවසානයයි මේ.


Saturday, 24 February 2018

ආදර ප්‍රදී 13

ආදර ප්‍රදී 13



මව විසින් විවෘත කර බලා තිබූ ලිපිය නිවසට ලැබෙන්නට ඇත්තේ තමා නුවර ගිය දිනය ආසන්නයේ දීම වන්නට ඇති බැව් ඔහුට විශ්වාසය. එය කියවා ඇති වූ පසු තැවිල්ල , සහ රිදුනු සිත වසර ගණනාවක් ගති වී ගොස් තිබු අද දිනය වන විට ද සිත පුරාම එදින මෙන්ම තැන්පත්වී ඇති බැව් දැනේ. 

ලිපිය ඉතාම කෙටි වුවත් එහි සඳහන් ව තිබූයේ කෙනෙකුගේ ජීවිතය හා බැදී පැවති තීරණාත්මක හමුවකි. 

 සුළු පියා සහ මව සමඟින් ගෙවෙන නිවසේ විසීම දිනෙන් දිනම ගැටළු සහගත වී ඇති බවත් , තව දුරටත් එම නිවසේ ජීවත්විය නොහැකි තරමට තමන්ගේ ජීවිතය අසරණ වී  ඇති බවත් එබැවින් අවසාන විසඳුම ලෙසින් නිවසින් පිටත්ව නුවර පැමිණෙන බවත් , කිසිවෙකුත් නාඳුනන නුවර තමන් හඳුනනා ,  ජීවිතයේ සිටින එකම විශ්වාසවන්තයා  ඔහු පමණක් බවත් හරියටම  එදින උදෑසන දහයට පමණ විත් රැජිණ හෝටලය ඉදිරිපස දී ඇය හමුවන ලෙසත් ලිපියෙන් දන්වා තිබුණි.

ලිපියේ සඳහන් දිනය ඉක්ම ගොස් මසක පමණ කලක් ගතවී තිබූ අතර එම සඳහන් දිනයේ දී තමන් ද සිටියේ එම නුවරම වීමත් , ඇය රැජිණ හෝටලය අසල තමන් එනතෙක් පෙර මඟ සිටිද්දී කිසිවක් නොදත් අමනුස්සයකු ලෙස මිතුරන් හා එක්ව පාඩම් කරමින් තමන් සිටි ආකාරය මතක් වී ඔහුට උහුලා ගත නොහැකි දුකක් වේදනාවක් දැනෙන්නට විය.

ලිපිය පොඩි කර ගත් අතින්ම බිත්තියට තදින් පහර දුන් මීෂා නලල ද බිත්තියේ හප්පමින් නොහඬා හඬන්නට විය.

ඇය නිසා උපන් ශෝකයත් , ඔහු නිසා උපන් ආත්මානුකම්පාවත් , තම මව නිසා උපන් කෝපයත් කැටි කර ගත් හැඟීම් අස්සෙන් නැවත වාරයක් ඇසුනේ ........... “ අම්මට තිබ්බ අම්මෙ මට මේ ගැන කියන්න “ යන්න පමණි.

සිහි එලවා ගන්නා විට ඔහු සිටියේ මිතුරෙකුගේ බෝඩිමේ ය. නිවසින් පිටත් වී ගිය මීෂා නැවතත් ඒ නිවසට පැමිණියේ වසර ගණනාවකට පසු බැව් මම පසුව දැන ගතිමි.

එදා නුවර දී ඇයට කුමක් සිදු වන්නට ඇත් ද, රැජිණ හෝටලය ඉදිරිපිට ඇය කොතරම් වේලාවක් බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින්නට ඇති  ද , තමා ගැන අවසානයේ දී ඇය කුමක් සිතන්නට ඇත් ද, තමන්ට  ලෝකයේ සිටි එකම හිතෛශීවන්තයා ද පිටුපෑ බව ඇයට හැඟෙන්නට ඇති ද. නිකමට හෝ ඇගේ ලියුම ඔහුට නොලැබුන බැව් ඇයට සිතෙන්නට ඇති ද. අවසානයේ දී ඇය කුමක් කරන්නට ඇති ද. කෙසේ හෝ ඇය දැන් කොහෝ හෝ යහතින් සිටිනවා ද?

ඇය ගේ මතුගම  නිවසට ලියූ ලිපි දෙකකටම ඇගෙන් පිළිතුරු නොලැබුනු අතර අවසානයේ දී යැවු තෙවන ලිපියට පිළිතුරු ලෙස පැමිණි ලිපිය ද ප්‍රදී විසින් ලියූවක් නොවිනි. එය ඇගේ මව විසින් ලියන ලද ඉතා කෙටි ලිපියක් වූ අතර , ඇය ගැන තව දුරටත් නොසොයන ලෙසත් , ඇයඉක්මනින්ම විවාහ වීමට තීරණය කර ඇති බවත් එහි ලියා තිබුණි.

එම ලිපියෙන් නොසැලුනු මීෂා  ප්‍රදී අසනීපව රෝහල් ගතව සිටින විට තමන්ට දන්වා එවීමට තරම් සිත් ඇතිව සිටි ප්‍රදීගේ යෙහෙළිය ට ද ලිපි කිහිපයක්ම ලියූ නමුදු ඒ එකකට හෝ පිළිතුරක් ලැබුනේ නැති හෙයින් ප්‍රදී ගැන සෙවීම අත් හලේය. නමුත් ඇගේ ජීවිතයට යම් අභාග්‍යසම්පන්න යමක් සිදු වී නම් එයට වගකිවයුතු එකම කෙනා තමා බව ඔහු දැඩිසේ විශ්වාස කලේ ඇය මුළු ලොවක් හැරපියා ඔහු වෙත පැමිණි දිනයේ දී ඇය මඟහැර ගත් වරද තමන් සතු වීම නිසා ය.

ඇගේ සිහින් කෘශ ශරීරයත් , ඇය ජීවිතයේ විදි වේදනා සියල්ලත් , ඇගේ නිල්මිණි දෑසත් ඔහුගේ මතකට නොනැගෙන දිනක් නොමැති තරම් වූයෙන් ප්‍රදීගේ මැදිහත් වීම නිසාම නවතා දමා තිබූ දුම්බීමටත් , දිනපතා මත්පැන් පානයටත් යොමු වූ මීෂා පුරුද්දක් ලෙස ගංජා සුරුට්ටු ඉරීමටත් යොමු වූයේ විශ්ව විද්‍යාල ජීවිතයේ ලද මහා නිදහස ද උපයෝගී කර ගනිමිනි. 

කිසිදාක උඩ බොත්තම් දෙක තුනක් නොපියවෙන කමීසයක් හැද , දිගු කලිසමකින් හෝ රෑ කෝච්චියේ යනෙන ඇතැම් දිනක සරමකින් ද රබර් සෙරෙප්පු පය ලා මුහුණ පුරා රැවුල වවා වසාගන්නට හදන මුහුණේ දුක පිරි දෑස් සැඟවුනු කණ්නාඩි කූට්ටම් අතරින් ඉදහිට සිනාසෙන ඔහු පෙන්වා “ කවුද මේ , කොල්ලා “ යැයි ඇසූ ඕනෑම කෙනෙකුට ලැබෙන එකම පිළිතුර වන්නේ , “ හොඳ කොල්ලෙක් , එකම වරද ඩේලි බොනේක තමයි. “ 

රැජිණ හෝටලය කහ ඉර ඉදිරිපස ට වී යමෙකු එනතෙක් මේ සුන්දර තරුණයා මඟ බලා සිටිනවා  ඇතැම් දිනෙක සමහරුන්ගේ දෙනෙතට ලක් වේ. ඇය එදා තමා එනතෙක් මෙතැන මෙහෙම බලා සිටින්නට ඇතැයි සිතමින් කල් මැරීම ද ඔහුගේ සිතට යම් සැනසිල්ලක් ගෙනෙනවා වන්නට ඇතැයි එවිට මට සිතේ.

විශ්ව විද්‍යාල ජීවිතයේ ඔහුගේ හොඳකම නිසාම ඔහු වටා නිතර නිතර ගැවසී ගත් විවිධාකාර කෙල්ලන්ගේ අඩුවක් නොමැති වූ අතර ඉන් ඇතැමෙක් ඔහු ගැන ඇතිකර ගත් ප්‍රේමණීය බලාපොරොත්තු සහගත වූ කෙල්ලන් විය. නමුත් ප්‍රදීගේ මතක අතර සෑම දිනකම අග මධුපිරි වීදුරුවට යට කරන මීෂාට තරුණියක් ගැන ඇල්මක් ඇතිවීමට කල්ගත වූ අතර එය ද විශ්ව විද්‍යාලයෙන් පිටත දී අහඹු ලෙස මුණ ගැසුණු තරුණියකි.

දින , සති , මාස අවුරුදු ගණන් ගෙවී යද්දී ඇය ගැන මතකය අමතක වූවා යැයි පැවසීම නිවරදි නොවන නමුත් ඇය ගැන මතකය මතුපිටට ඒමට තරමක් ජීවිතයට නිනව්වක් නොමැති විය. විවාහය , දරුවන් ලැබීම , රැකියාව අතර ගත වී යන කාර්ය බහුල පැය වල දී කාර්යාල මේසයේ යටම ලාච්චුවේ සුරැකිව තිබුනේ ඇය ගැන මතක සටහන් ය. 

ඇය කොහේ හෝ යහතින් සිටිනවා වන්නට ඇතැයි ඔහු බොහෝ විට සිතයි. තමන් දැන් දරු දෙදෙනකුගේ පියෙකු වී ඇති සේම ඇය ද දියණිකගේ හෝ පුතෙකුගේ මවක් වී නුවර රැජිණ හෝටලය ඉදිරිපිට ඔහු එනතෙක් රැදී සිටිද්දී හටගත් සංතාපය අමතක කර සිටිනවා වන්නට ඇත. 

ඔය අතරතුරු දිනක හදිසියේම තම පාසල් මිතුරන්ගේ හමුවකට යාමට මීෂාට ඉඩකඩ ලැබෙන්නේ අහම්ඹයෙකි........

අවසාන කොටස ඊළඟ ට 

Saturday, 17 February 2018

ආදර ප්‍රදී 12

කලින් කොටසට මෙතනින් යන්න

ආදර ප්‍රදී - 12




අගෝස්තුවේ අවසාන සතියේ පැමිණි ලිපියකි. ලිපියේ පිටත අකුරින්ම ඒ ප්‍රදීගේ ලිපියක් බැව් දැන ගත් මීෂාට එතුල වූ දෑ කියවීමට ඇති වූයේ නොඉවසිල්ලකි.

එය ඉතා ශෝකජනක කෙටි ලිපියක් විය. ලිපිය කියවා හමාර වනවාත් සමඟින්ම තෙත් වන දෑස කොතරම් වෙහෙස ගත්තත් වලක්වා ගැනීමට මීෂාට නොහැකි විය.

ප්‍රදී මානසික රෝගියෙකු බවට පත් කරන්නට ඇත්තේ ඇගේ නෑයින් විසින් වන්නට ඇති බැව් මීෂා මේ වන විට සැක උපදවා ගෙන සිටින්නේ ප්‍රදීගේ පියාට අයත් මහ ගෙදරත් තවත් දේපල කිහිපයකත් සුව ඒ වන විටත් විදිමින් සිටියේ ඇගේ නෑදැයින් නිසාය. පියාගේ අභාවයෙන් පසු ප්‍රදී නැවතත් පියා ගේ ගාලු කොටුවේ වූ මහගෙදර පදිංචියට පැමිණීම නොරිස්සූ ඔවුන් ඇය පිස්සියක බවට පත් කරන්නට ඇති බැව් මටද දැන් සිතේ..........

එම නෑදැයන්ගේ ගැරහුම් අපහාස විඳගෙන සිටියත් මේ මානසික වදය සීමා මායිම් ඉක්මවා යන විට දී නැවතත් ප්‍රදී ගේ මව සහ සුළු පියා කරා ඒම හැර ඇයට වෙනත් කිසිදු විසඳුමක් ඒ වන විට පෙනෙන්නට නොතිබුනා වන්නට ඇත. 

අසරණ ප්‍රදී ඉන් ඇඳ වැටී තිබුනේ තවත් අඳුරු අගාධයකට වීම ඇගේ දෛවය වන්නට ඇතැයි සිතා හිත හදා ගැනීම සිදු කර ගන්න මීෂා ඒ වන විට ප්‍රමාද වී වැඩි ය.

ලිපියේ පරිදි ඇය ඒ වන විට තම සුළු පියා ගේ අඩම්තේට්ටම් වලට පමණක් නොව ශාරීරික බලහත්කාරකම් වල ගොදුරක් බවට ද පත්වී තිබුණි.  උස මහත කළු මදාවි සුළු පියාගේ ශරීරය හා පොර බැදීමට තරම් ඇගේ කෘශ සිනිඳු ශරීරය ට ශක්තියක් නැතිවා මෙන්ම කිහිපවාරයක් බන්ධනාගාර ගත වී පැමිණ තිබූ ඔහුගේ චන්ඩි කමට එරෙහි වීමට තරම් හයියක් ඇගේ මවට ද නොතිබුණා වන්නට ඇත.

තම කුඩා බාල සහෝදරයන් සමඟින් නිතරම ගැවසෙන ලෙසත් රාත්‍රී නින්දට යාමේ දී ද කුඩා සහෝදරයන් සමඟින් නින්දට යන්න ලෙස උපදෙස් දීමත් , හැකි ඉක්මනින් ඇයගේ සියළු කරදර වලට සැනසීමක් ලබා දෙනබවට පොරොන්දු දීමත් හැරෙන්නට ඒ වන විට දී මීෂාට කල හැකි කිසිත් නොවීම මීෂාගේ හදවතට ගෙන දුන්නේ වේදනාවකි.

මේ අතර රටේ සිවිල් තත්ත්වය එන්න එන්නට දරුණු වන්නට වීම ද නිසා මීෂා ගේ විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබූ බැවින් ඒ බැව් දන්වමින් ප්‍රදී ට ලියූ මීෂා පිළිතුරු එවන විට නිවසේ ලිපිනයට එවන ලෙසට ඇයව දැනුවත් කරමින් ඇයට ලියූ අතර සියළු ප්‍රශ්න නිරාකරණය වන දිනය වැඩි ඈතක නොවන බැව් පවසමින් ඇගේ සිත නිවාලන්නට ද වෑයම් කළේය.

නමුත් සිදු වූයේ නොසිතූ  දෙයකි. ඒ වන විට ද අවසන් නොවී තිබූ විශ්ව විද්‍යාල විභාගය සඳහා සූදානම් වීම ද කළ යුතු ව තිබූ දෙයකි. විභාග ය පවත්අවන අතර තුර උන්හිටි ගමන් වසා දැමූ විශ්ව විද්‍යාලය නැවත ආරම්භ වන්නේ කවදාදැයි හරියටම පැවසීමට කිසිවෙකුටත් නොහැකි වූවද කොයි මොහොතක හෝ විශ්ව විද්‍යාලය ආරම්භ වූ සැනින් විභාගයට මුහුණ දීමට සිදු වන බැව් නම් මීෂා ඇතුලු පිරිස හොඳින්ම දැන සිටි කාරණාවකි.

එබැවින් නිවසට වී කාලය මැරීමට නොහැකි බැව් අවබෝධ කර ගත් ඔහු තමාගේ නුවර යහළුවෙකු සමඟින් ක්‍රෑම දෑමීමට සියල්ල සුදා නම් කර ගත් අතර , ඔහුට නිතරම ලියන ප්‍රදීව දැනුවත් කිරීමට ද මීෂා අමතක නොකලේය . නමුත් ඔවුන් නැවතී සිටින්නට අදහස් කරන නුවර ස්ථානයේ ලිපිනය ඇය වෙත දන්වා යැවීමට නොහැකි වූයේ එම ස්ථානයේ ලිපිනයක් ඔහුගේ මිතුරාද නොදැන සිටි බැවිනි.

සැප්තැම්බරයේ මැද සතියේ සිට නුවර ට කොටු වූ මීෂා ට වරින් වර ප්‍රදීව මතකයට නැගුන ද ඇයට ලිවීමටවත් ඇය ගැන විපරම් කිරීමටවත් තරම් නිනව්වක් නොලැබුනේ මිතුරන් සමඟින් අධ්‍යයන වැඩ වල නිරත වීමත් එවක පැවති සිවිල් වාතාවරණ තත්ත්වය අනුව ක්‍රියාකාරීව එළි පහලියකට බැස ඇවිද යාමට තරම් වත් සුදුසු පරිසරයක් නොපැවති බැවිනි.

ඔක්තෝම්බරයේ මුල් සතියක නැවත තම නිවසට පැමිණි මිෂාට හමුවූයේ බාගෙට විවෘත කරන ලද තැපෑලෙන් පැමිණි ලිපියකි.

ඒ ලිපි කාගෙන් දැයි ඔබ මෙන් මම ද දැන් හොඳින්ම දැන සිටින පරිදි ඒවා ප්‍රදීගේ ය. විශ්ව විද්‍යාල නිවාඩු සමයේ නිවසට පැමිණ නැවතත් නුවර බලා හැරී ගිය කාලය ආසන්න දිනක ලැබෙන්නට ඇතැයි සිතිය හැකි වූ එම ලිපිය කියවා බැලූ මීෂා ගේ සිත තුල උපන් නේ තදබල කෝපයකි. ඒ ඇය සමඟින් නම් නොව තමා නමට පැමිණි ලිපි විවෘත කර බලා කියවා , අඩු ගනන්නේ දැනුවත් කිරීමක් වත් සිදු නොකර කිසිවක් සිදු නොවුනාක් මෙන් සිටිනා තම මව කෙරෙහි ම උපන් කෝපයකි.

“ අම්මා ..... කවද මේ ලියුම් ආවේ “

“ උඹ නුවර පාඩම් කරන්න ගිය දවස් වල “

“ ඇයි අම්ම මගෙ ලියුම් කැඩුවේ . කැඩුවට කමක් නෑ අඩු තරමේ අම්මට තිබ්බා මට ටෙලිග්රූම් එකකින් වත් මේ ගැන කියන්න..........“

ගැහෙන ඇඟිලි අතරින් ගිලිහී යා නොදී රදවා ගත් ලිපිය තම මව වෙත දිගු කරමින් කෝපය පිටවෙන දෑසින් වෙවුලන දෙතොලින් විමසන මීෂාගේ සිතැඟි මේ යැයි හරියටම පැවසීමට ඔබටත් මටත් නොහැක.

“ ජාතියක් ජන්මයක් නැති එකෙක් කර ගහ ගන්න ද උඹ හදන්නේ ?“

තව දුරටත් ඇය හා වාද කර පලක් නොමැති බැව් වටහා ගත් මීෂා ගුලිකර ගත් ඇදුම් කිහිපයක් බෑගයට ඔබා ගෙන තම නිවසින් පිටවූයේ කෝපය සහ වේදනාවෙන් පිරිගිය දෑසිනි.

ඔහුට මෙතරම් තරහා ගන්නට ප්‍රදී එවූ ලිපිය මව විසින් විවෘත කර බැලීමම  පමණක් හේතුවක් වන්නට ඇතැයි ඔබ සිතනවා ද?

ඉන් එහා ගිය යමක් එම ලිපියේ තිබූ බව ත් , දින කිහිපයක පමාවකින් වැලකී ගිය පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකි වීමත් නිසා මේ අද වන විටද ඔහු සිතින් සිය දහස් වාරයක් කම්පාවට පත්වන බවත් මම හොඳ හැටි දනිමි............

ඇගේ ලිපියේ වූයේ , ඇගේ ලෝකයේ සිටිනා තම විශ්වාසතමයාට ලියූ එකම දයාබර ඉල්ලීමකි. එය ඉල්ලීමකට එහා ගිය ආයාචනයකි. අතීතයට ගියත් යළිත් පිළිසකර කළ නොහැකි තරමේ හදවත පාරවනා අසරණ බවක ආරම්භයකි.....................

ආදර ප්‍රදී 11

ආදර ප්‍රදී 11



අවසානයේ ලියුම් ලැබීම සහමුලින්ම නැවතී මාස ගනනක් ගත වී තිබූ එක් අගෝස්තු මාසයක මුල්  දිනක දී හදිසියේම පැමිණි ලියුමකි. නමුත් ඒ ඇගේ අත් අකුරු නොවූ මුත් ඇය ගැන දන්වා එවා තිබූ ලියුමකි. ලිපිය කියවූ වහා කලබලයට පත් වූ ඔහු යහළුවෙකු ද සමඟින් තකහනියේ සූදානම් වන්නේ කොහේ හෝ යාමට ය .......................කලින් කොටසට මෙතනින් 

ප්‍රදී  ගේ වමට බර අත් අකුරු වෙනුවට වෙනත් ගැහැණු අත් අකුරු වලින් ලියවුනු කෙටි ලිපිය කියවූ වේලාවේ සිටම මීෂා ට අවශ්‍ය වූයේ ලිපියේ සඳහන් දේ සත්‍යදැයි බැලීමටත් වඩා ප්‍රදී ගේ මුහුණ දැක ගැනීමේ  නොයිවසිල්ලකි. 

ලිපියේ සඳහන් වංහුන් අනුව රෝහලේ වාට්ටුවෙන් වාට්ටුවට ගොස් ප්‍රදී නේවාසිකව සිටිතැයි ලියා තිබූ වාට්ටුව අභියස දී මිෂා සමඟ පැමිණි මිතුරාගේ ගමන් වේගය බාල වූ අතර , ඔහු වහා මිෂාගේ අතින් අල්ලා නතර කළේ ය.

“උඹට පිස්සු ද බන් “ ඔහුගේ දෑස් ඒ වන විටද යොමු වී තිබුනේ වාට්ටුවේ අංකය සහ නම සඳහන් පුවරුව වෙතටය.

“ උඹට ෂුවර් ද මේ වාට්ටුවමයි කියල ? “

“ ඔවු බන් යමන් “

ඒ කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකල මීෂා ගේ ගමන නොනැවතුනි.

“ අල්ලල දාපන් බන් .........පිස්සියෙක් නෙ “ මිෂාගේ ගමන නොනවතින බැව් දැන ගත් මිතුරා වේගයෙන් ගොස් ඔහුගේ අත අල්ලා ගත්තේය.

“ උඹට බැරි නම් නිකා හිටපන් “ ඔහු අත තදින් ගසා දැමූ මීෂා , දුකත් , කුතුහලයත් , ආදරයත් මිශ්‍ර වූ හැඟුම් සමුදාය එක මිටට ගුලිකර ගනිමින් , වාට්ටුවේ සිටි නොයෙකුත් ආකාරයේ ගැහැණුන් අතර ඇගේ දිගැටි , මුහුණත් , සුන්දර දෑසත් කොහිදැයි පිරික්සන්නට විය.

කෙසඟ සිරුර තවත් කෙසඟව ගොස් , ඇඳට තබා බැද තබන ලද දෑතත් , ඉන් එක් අතක අපහසුවෙන් මෙන් ඇමිණී තිබූ සේලයින් කටුවත් සමඟින් ප්‍රදී ඇද පුරා ඔහේ වැටී සිටියා ය.

ඇය ගේ ඇඳ වටා ඇගේ ඥාතින් යැයි කිවහැකි පිරිසක් වූ අතර ඉන් කිසිවෙකුත් මීෂා හඳුනන අයවලුන් නොවූ නමුත් පිරිසෙන් ඉදිරියට පැමිණි ගැහැණු ළමයෙකු , ඔහු වෙත තොරතුරු දන්වමින් ලියූ ලිපිය එවුවේ තමා බවට හැඳින්වීමක් කළා ය. ප්‍රදීගේ මුහුණෙන් විඩාබර ගතිය හැරෙන්නට  කිසිදු රෝගී තත්ත්වයක් ‍ නොපෙනුනු නමුදු , ඇය කිසිවෙකුත් සමඟින් කතා නොකරන බැව් පැවසුවේ ද ඔහු වෙත ලිපිය එවා තිබූ ගැහැණු ළමයා යි. 

ඇඳඅසල සිටින්නේ කාගේ කවුදැයි දැන ගැනීමට හෝ ඔවුන් සමඟින් කතා කිරීමට හෝ මීෂා ට අවශ්‍ය වූයේ නැත.

බොහෝ සෙයින් කෘශ වී ඇටට සම ඇලී ගිය එකාතක් බැදීම් බැම්මෙන් නිදහස් කර ගත් මීෂා , ඇය ගේ සවනට ළං ව “ ප්‍රදී....“ යැයි ඇමතූ මොහොතේ , විඩාබර දෑස් දල්වා ඔහු දෑත තුල මැදිව තිබූ ඇගේ ඇඟිලි වලින් ඔහු ගේ ග්‍රහණය තව තවත් වැරෙන් අල්ලා ගනිමින්  වචනයෙන් පැවසිය නොහැකි හැඟූම් සමුදායකින් උපන් කඳුලක් බලාපොරොත්තු දැල් වූ දෑසින් මුදා කෘශ කම්මුල් හරහා ගොස්  හිස තබා තිබූ කොට්ටය තුල ගිලී යන්නට විය.

“ ඔයා ආවේ ඔයාගේ ප්‍රදීව බලන්න ද ?“ ඇය පැවසූ එකම වාක්‍යයයි. කඳුලක් පස්සේ උපන් තවත් කඳුලක් බැගින් ගැලූ කඳුළු වැලක් අවසානයේ දී “ ඔයාට සනීප වෙනකම් මම යන්නෑ ප්‍රදී , මම හැමදාම ඔයාව බලන්න එනවා “ . දෑසින් දෑතින් හා සුසුමින් කෙරුනු ගැඹුරු කතා බව හමුවේ කාලය ගත වී යන බවක් දෙදෙනාටම නොවැටහුනි.

හෙදියක් පැමිණ , රෝගීන් බලන වේලාව ඉක්ම ගොස් ඇති බැවින් මිෂාට වාට්ටුවෙන් පිටවන ලෙස පවසන තුරුම ඇගේ දෑත් ඔහුගේ දෑත් අතර සිරකර ගනිමින් ඔවුන් එකිනෙකා කතා කලේ සුසුමින් හා දෙනෙතිනි.

ඇයගේ කතා බහත් හැසිරීමත් සාමාන්‍ය වූ වහාම ඇය වෙනත් වාට්ටුවකට මාරු කරනා බැවින් නැවතත් ඇය හමුවීමට මෙම වාට්ටුවට පැමිණීම අවශ්‍ය නැතත් පැවසූ හෙදිය , ප්‍රදී ඉක්මනින්ම සුව වනු ඇතැයි පැවසූවේ මීෂා පැමිණී පසුව ප්‍රදීගේ හැසිරීම් සහ කතාවත් ඇගේ පෙනුමත් සාමාන්‍ය තත්ත්වය පැමිණෙමින් තිබෙන බැව් පවසමිනි.

ප්‍රදී ගැන තොරතුරු දන්වමින් තමන්ට ලියනා ලෙසට ප්‍රදී ළඟ සිටිනා , තමාට ඇය ගැන දන්වා එවු ගැහැණු ළමයාට මීෂා පැවසූව ද, ප්‍රදීගේ වාට්ටුවෙන් සමුගෙන නොපෙණී යනතුරුමත් ප්‍රදී ගේ තෙත දෑස් ඔහු වෙතම වූ බවට ලියා යැවීමට තබා , ඇය ගැන කිසිදු තොරතුරක් දන්වා යැවීමට තරම් ඇය කාරුණික නොවූවා ය.

මිෂාගේ විශ්ව විද්‍යාල පළමු වසර අවසන් විභාග සමය වූ බැවින් , ප්‍රදී ගැන උපන් ශෝකයෙන් පීඩිතව සිටින්නට ඔහුට  කාලය නොවුනි , විභාගයත් ප්‍රදීත් අතර එහා මෙහා වන සිත අමාරුවෙන් සමබර කර ගත් මීෂාගේ විභාග සමය නිමවන විට දී ප්‍රදී රෝහලේ නොමැති වූයේ , ඇගේ භාරකරුවන් ඇයගේ ටිකට් කප්පවාගෙන බලහත්කාරයෙන්ම ඇයව කොළඹ රැගෙන ගිය බැවින් බැව් මිෂා දැන ගත්තේ රෝහලේ වාට්ටුව බාර හෙදියක ගෙනි.

ඇය ගැන තොරතුරක් දැන ගනු රිසියෙන් තමන්ට ඇය ගැන දන්වා ලිපිය එවූ ගැහැණු ළමයාට ලිපි කිහිපයක්ම ලියා යැවූව ද ඒවාට කිසිදු පිළිතුරක් නොලැබුන තැන්හි මීෂා සියළු බලාපොරොත්තු අතහැර හිත හදා ගනිමින් සිටියේ ඇය කොහේ හෝ හොඳින් ඇති බවට තම සිත ට එත්තු ගන්වමිනි.

නමුත් , අගෝස්තුවේ අවසාන දිනයක පැමිණි ඇල අකුරු සහිත කෙටි ලිපිය ප්‍රදීගෙනි..................



ඒ ගැන ඊළඟ කොටසින් 

Wednesday, 27 December 2017

ආදර ප්‍රදී 7

ආදර ප්‍රදී
7 වන කොටස




පාසල් විවේකය තවත් එක් සාහිත්‍ය කාලච්ඡේදයක් වන්නේ විවිධ විෂයයන් උගන්වන ගුරුවරුන් කිහිප පොලක් ම කුඩා ආපන ශාලවට රැස් වූ විට යි. එකිනෙකා ගේ දැනුම නොදැනුවත්ම බෙදී විසිරී තේ සුවඳත් වඩේ කර රසත් සමඟින් මුසු වී යන මේ විනාඩි 15ක කාලය ගෙවී යනවා නොදැනේ.


අඩි දහයක් පමණ දිග , අඩි හතරක් පමණ පළල සිහින් තීරුවක තබනා ලද පැරණි උසැති බංකු මේසයක් , ඒ මේසය එක් පස තබා ඇති එවැනිම දිගැති කොට බංකුවක් , අනිත් පස ඇති ඉවත් කරන ලද සිසු පුටු හතරත් විවේකෙ කාලයේ දී ආපන ශාලාවට එන සියළු ගුරුවරුන්ට අසුන් ගැනීමට මදි වූ ඉඩ කඩ වූව ද කිසිවෙකුත් කිසිවෙක්ට දොස් නොකියා ගතවූ කාලච්ඡේද හතරෙහි වියළී ගිය උතුර තේ කහට උණුසුමින් සතපා ගනියි.


“ අපි තේ බොනවා “ කොතරම් දෙනා සිටියත් ගවු ගනනක් දුර සිටිනා ඔහුට මම කෙටි පණිඩියක් තැබුවේ දකුණු අතේ ඇගිලි දෙකක ගුලිකර ගත් හකුරු ගොට්ට සීරුවට සමතුලිත කර ගනිමිනි.


“ ඔයා ගෙ අර ප්‍රදී කතාව දැන් ලියන්නෙ නැතෙයි “ මට කෙලින්ම බංකු මේසය එහා පැත්තේ පුටුවක වාඩි වී සිටි ගුරුතුමිය අසයි. 


පළමුව දැනුන ලැජ්ජාව වසන් කර ගනිමින් “ අයියෝ ...මිසුත් ඒක කියවනවා දැයි මම අසමි “


“ ඔවු ..... ඔයා ඒ ලියන්නේ කාගෙ හරි ඇත්ත කතාවක් ද ?“ ඇය මා දිරිමත් කරමින් අසන්නීය.


“ඔවු .............. මේ ඉන්නෙ එයා .................“ ඒ වන විටද මා අතැගිලි යටට වී තිබූ දුරකතනයේ වූ ඔබේ පින්තූරයක් මම ඇයට පෙන්වමි.


“ කතාවෙ කියල තියන විදිහට මම හිතුවා ලස්සන කෙනෙක් කියලා. ඒ විදිහටම ඉන්නවා “ ඇය පවසන්නේ ඔබේ කඩවසම් මුහුණ දෙස හොඳින් බලමිනි.


“ දැන් මෙයා බැඳල ඉන්නෙ ප්‍රදී ව ද?“ ඇය යළිත් අසයි. 


ආදර ප්‍රදී ලියන්නට මා ඇඟිලි කලකින් නොනැමුනේ ඇයි දැයි එවිට මට සිතේ. එය මා සිත අරක් ගත් එක්තාර ආකරයක ගැහැණු ඉරිසියාවක් වන්නට ද බැරි නැත.


නමුත් නතර කර තැන් පටන් මම නැවත කෙසේ එය ගොතන්නට පටන් ගැනීම අරබන්නේ දැයි මේ වනතුරුද හිතට නිච්චියක් නැත. නමුත් මේ වන විට ද ඇරඹුමක් ලැබී ඇති එහි අවසානයක් දකින තුරු මා ඔබට දුන් පොරොන්දුව අවසන් නොවනු ඇත.
--------------------------------------

තරමක අවුල් වී ගිය හිස කෙස් ය , රැවුල හොඳටම වැවී ඇති අතර ට්‍රිමරයක පහස කලකින් ලැබී නොමැති බවක් හැඟේ. තැනින් තැන සුදු වී ගෙන එන අලුත් කෙස් ගස් ය. කළු කෙස් විරාජමානව වැජඹුනත් , තැන තැන හිස ඔසවමින් සිටිනා සුදු වුන් ඒ මුහුණට අනවශ්‍ය මුහුකුරායමක් එක් කිරීමට තැත් කරයි.


රැවුල් ගස් අතරින් සොයා ගත් ඒ දොතොලෙහි සිනාවක අතීත ලකුණක්වත් දැකිය නොහැකි තරමට ගල්වී ඇත. මුහුණෙහි හැඟීම් කියවා ගැනීමට නොහැකි තරමට අජීවී බවින් පිරී ඇත. කණ්නාඩි දෙකෙන් වසන් වී ඇති දෑස් මේසය මත ඇති සුදු කොළයේ කළු අකුරු වලින් එහා මහා කළු කුහරයක නතර වී ඇති බැවක් හැඟේ.


අතෙහි නිතර රැදෙනා කළු තීන්ත පෑන පසෙකින් තැබූ ඔහු තමා ආසන්නයේ ඇති මේස ඇන්ද දෑතින්ම අල්ලා ගෙන සිටිමින් මද කල්පනාවක නිරත වී සිට , කුමක් හෝ සිතන්නටත් කලියෙන්ම තමා කෙලින්ම තිබූ මේස ලාච්චුව අරින්නට වූයේ හඬ නොනැගෙනා ලෙස සීරුවට නම් නොවේ. 


ලාච්චුව අරින හඬින් ගැස්සී ගිය ඔහුගේ දකුණු පස වූ මේසය අසල වූ සුදු හීන්දෑරි යුවතිය කරමින් සිටි වැඩය නවතා ඔහු දෙස බැලූවත් ඔහුට ඒ වගක් වත් නොවීය.


හැරුන මේස ලාච්චුව ඔහුගේ ඉදිරියට ඒමට පටන් ගනිමින් තිබූ කුසෙහි වැදී නරත වී තිබූ අතර මේස ලාච්චුවට අත දැමූ ඔහු ඉතා සීරුවට එයින් එළියට ගත්තේ 4ආර් තරමේ පින්තූරයකි.


එදෙස බලා සිටිනා ඔහුගේ මුහුණේ තදැතිව තිබූ පේශි ලිහිල් ව යනු පෙනෙනු ඇත.වියළිව ගොස් තිබූ දෑස් තෙත්ව දිලිසෙනු දැකිය හැකි වනු ඇත.දෙතොල් මදහසත් , අමනාපයත් අතර තැනක නැවතෙනු පෙනෙනු ඇත. 


අද මේ දැන් සිට දින කිහිපයක්ඔහු කිසිවෙක් සමඟින් කතා නොකරන බවත් මුම්බාගත් වනම සිටිනා බවත් ඔහුගේ ඔෆීසි කාමරයේ සිටින සුදු හීන්දැරි ගැහැණු ළමයා අත්දැකීමෙන් දනී. ඇය ඔහුගේ පුද්ගලික ලේකම්වරියයි.


මෙය ඉවසිය නොහැකි වූ එක් දිනක් , ඇය සැමට රහසේ ඔහුගේ මේස ලාච්චුව හැර , තම ප්‍රධානියා දුක්බරිත කරවන ඒ අපූරු වස්තුව කුමක්දැයි සොයා ගත්තාය.


කළු සුදු ඡායාරූපයක් වූ එහි සිටියේ ඉතාම කෙසඟ සිරුරකට හිමිකම් පෑ තළෙලු යැයි සිතිය හැකි තරුණියකි. ඇගේ දෑස් ඉතාම සෝබමාන විය . කොණ්ඩය කෙටි වූ අතර තරමක් කැරලි ගැසී තිබුනි. බැලූ බැල්මට ඇගේ ප්‍රධානියාත් , ප්‍රධානියා දින ගණකකට ගොළු කර තබනා ඡායාරූපයේ සිටින තරුණියත් එක හා සමාන හැඩරුවින් යුතු බැව් ඇයට සිතුණි. කෙසේ වුවත් ඔහු පැමිණෙන්ට පෙර වහාම මෙය විනාශ කර දැමිය යුතුබැව් හැගුන බැවින් ඉතා කුඩා කැබලි වලට ඉරන ලද ඡායාරූපය ඉන් පසු ගිනිදෙවියා වෙත පුදන්නට යෙදුනි.


--------------------------


“ අයියෝ .............ඇයි එයා ඒක පිච්චුවේ “ දැන් මට එයා කළු ද සුදු ද කියලවත් බලා ගන්න නෑනේ . කවුද ඇත්තටම ඒ පින්තූරෙ හිටියෙ ? 


“ ප්‍රදී “


“ මොනවා ...............?“


“ ඉතින් ඇයි ඔයාගේ සෙක්‍රරටරි ඒ පින්තූරය පුච්චල දැම්මේ ?“


“ ඒ වෙද්දි මම කසාද බැදල නිසා.මට දරුවො ඉන්න නිසා.පින්තූරෙ බැලුවට පස්සෙ දවස් ගානක් කතා නොකර බුම්මන් ඉන්න නිසා “


“ ඒ කියන්නේ............ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ප්‍රදීව හමුවුනේ නැද්ද ඔයා “

“ හමුවුනා........ අපි ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙත් එයා මට දිගටම ලිවුවා. “

“ මට දෙන්න කො ඒ ලියුම් “

“ ඒ ලියුම් ටිකත් අර ෆොටෝ එකත් එක්කම අර කෙල්ල පුච්චල දැම්මා “

“ හ්ම් .....................“

“ ප්‍රදී ........ විභාගෙන් පස්සෙ එයාගේ අම්මල ලඟට ගියා. ගියා නෙමේ ...ඇත්තටම එයාට යන්න සිද්ධ වුනා. එයාගේ තාත්තයි අම්මයි වෙන් වෙලා හිටියෙ කියල මම ඔයාට කියල ඇති නේ. තාත්ත ළඟ එයා හිටියේ. ඒත් .........එයාගේ අවාසනාවට වගේ තාත්තත් නැති වුනා ........ ඊට පස්සෙ එයා එයාගෙ අම්ම ළඟට ගියා “

“ අම්ම ළඟට ..........ඉතින් හොඳයි නෙ. කෙල්ලෙක්ට අම්ම ළඟ ඉන්න තියනම් කොච්චර හො දද ?“

“ අම්ම ........ ආයපු කසාඳ බැදල හිටියෙ. ඒ මනුස්සය මිනීමරුවෙක් ද කොහෙ ද ? ප්‍රදීටත් ඒ මිනිහගෙන් කරදර තිබ්බා . . . . කොහොම වුනත් ප්‍රදීට මගෙ අතින් වුනේ ආපහු කවදාවත් හදන්න බැරි වරදක් ........ “

“ ඔයා ප්‍රදීප බලන්න ගියා ද?“

“ ඔවු .......... එක ලස්සන වෙසක් පෝය දවසක් අල්ලල මම ගියා එයා බලන්න “


ඒ ගමන ගැන දැන ගන්න නම් ඊළඟ කොටස කියවන්න වෙනවා....

ආදර ප්‍රදී - ආයෙමත් අලුතින්

ආදර ප්‍රදී - ආයෙමත් අලුතින්                                                   රැළි තැබූ සුදු ගවුම් ඇදපු ගැහැණු ළමුන් ‌ගේ රැළි වැටුණු මුහුණු,...