ආදර ප්‍රදී
6 වන කොටස
“ ඔයා කවද්ද දැන් ප්‍රදී ගැන ලියන්නේ “ ඊමේල් දෙක තුනක් එක පෙළට එවීමෙන් පසු ඔහු විමසයි.
“ මට ලියන්න බෑ . මට ඔයා හමුවෙන්න ඕනි “ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සැරසෙන මගේ සිත පවසයි.
“ අනේ ලියපන් බන් , දැන් කවද ඉදලද ලියනව කියන්නේ “
“ ඉතින් එදා ...........ප්‍රදී නේද කම්මුලට ගැහුවෙ ඔයාගේ “
“ඔවු .............එයාව ගෙදර ඇරලන්න එයත් එක්ක බස් එකට ගොඩ වෙලා , එයා ළඟින්ම වාඩි වුන වෙලාවේ , එයා දැක්කා කමිස සාක්කුවෙ තිබ්බ කුඩු වෙච්චි සිගරට් ටික , කම්මුලට ගැහුව විතර නම් මදැයි.හොඳ කුණුහරුපයකුත් කියල බැන්නා........ “
පැතිර යන නිහඬ බව බිදීමට මට නොසිතුනේ ඒ නිහඬ බවේ ද කතාවක් සැඟවී තිබුන බැවිනි.
“ හරි බන් එහෙනම් උඹ එතන ඉදල ලියපන් කතාව “ ඔහු දකුණු දත්පෙළ කෙලවර මායිම් කරන නල දත ද පේන සේ ඔහුගේ විරල සිනහවෙන් සංග්‍රහ කිරීමට තරම් කාරුණික වෙද්දී , මා සිත තුල ඇති සියළු අමනාපකම් දුරුවී යන්නේ , මීදුම් කපාගෙන පායන සූර්යයා ලෙසිනි.
-------------------------------------------
ප්‍රදී ගේ යෙහෙළියන් සියලු දෙනා පිටත්ව ගොස් තිබුනු බැවින් , ඇගේ ඊළඟ ඉල්ලීම වුයේ ඇයව ගෙදරට ඇරලන ලෙසයි. නාදුනන පිරිමි ළමයි නඩයේ එකෙකු ඇය වෙත බැල්ම හෙලීමත් , ඇගේ ආදරය පතා පැමිණිමත් ඇයට වදයක් වී ඇති බැව් දැන ගත් මිෂා ඇගේ ඉල්ලීම ඉටු කිරීමට ඉදිරිපත් විය.
ප්‍රදී ඇරලවීම සඳහා ඇයත් සමඟින් බසයට ගොඩ වූව ද නාඳුනන කොලු නඩය ද ඒ බසයටම ගොඩ වී ඇයට තව තවත් උසුළු විසිලු කිරීමට ත් ඇය වෙනුවෙන් ගෙනා චොකලට්ටුවක් ඇය වෙත බලෙන්ම ලබා දීමට ගත් උත්සාහයත් අවසානයේ දී ඉවසීමේ සීමාව පැන ගිය ප්‍රදී එක්වරම කොලු නඩය වෙත කඩා පැන්නීය.
“ තමුසෙල දන්නව ද , මේ ඉන්නෙ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් “ තමා අසල සිටි මීෂා ගේ කමිසයේ සාක්කුවෙන් ඇද කොලු නඩය වෙත පාමින් ඇය කියූ හරුපයෙන් කොලු නඩයත් මීෂා ත් වික්ෂිප්තව ගිය අතර ක්ෂනිකව ඔවුන් දොගොල්ලන් අතර ඇති වූයේ උණුසුම් වාතාවරණයකි.
බසය තුල දී ඇති වූ උණුසුම් තත්ත්වය කෙරෙහි කාගෙත් අවධානය යොමු වුනු අතර මීෂාගේ අසල්වැසි කොල්ලෙකු ගේ මැදිහත් වීමකින් සියල්ල සාමකාමීව විසදුනා මිසක එවක කරාටේ ශිෂ්‍යයකෙු වූ මීෂාත් වෙනත් කරාටේ මාස්ටර් කෙනෙකුගේ ගොල්යන් වූ කොලු නඩයත් අතර ඇති වෙන්නට තිබුනේ චීන චිත්‍රපටයක් මෙන් සටන් ජවනිකාවකි..........
--------------------------------------
“ අපරාදේ අනේ......... වලිය ක් තිබ්බ නම් කතාව චිත්‍රපටියක් වගේ වෙනවා “
“ ඉතින් ඔයා ප්‍රදී ළගින් වාඩි වෙලා හරි ආසාවෙන් යන්නැති නේද ?“
“ ඒව නම් මන් දන්නෑ. හැබැයි මම ඊට පස්සෙ සිගරට් නම් බීවේ නෑ “
--------------------------------
තරුණයාගේ මැදිහත් වීමෙන් වැලකි ගිය වලියත් , ප්‍රදීගේ වචන හමුවේ පසුබා ගිය කොලු නඩයත් , ප්‍රදී ගේ නිවසට පෙර නැවතුමකින් බැස ගත්තේ ප්‍රදීගේ සිතෙහි අස්වැසිල්ලක් ඇති කරමිනි.
ප්‍රදි ගේ නිවසට යා යුතු පාර අසලින් ඇයත් සමඟින් බසයෙන් බැස ගත්ත ද ඇගේ ඊළඟ ඉල්ලීම ද ප්‍රතික්ශේප කිරීමට තරම් සිතක් මීසාට නොවීය.ඒ ඇයත් සමඟින් පයින්ම ඇගේ නිවසට යාමයි.
නැවතුමේ සිට කි.මි 8ක පමණ දුරක් ඇවිදන් යාමට මීෂා කැමති වීම නම් මගේ සිතට මහා ලොකු පුදුමයක් ගෙන නොආවේ , ඇවිදින්නට කීවොත් මීෂාට ඊට වඩා වැඩි දෙයක් නොමැති බැව් හොඳින්ම දන්නා බැවිනි.
මීදුම් ගලන පාර මැදින් , දඹේ තැන්න වැව පසු කරමින් ඇයත් සමඟින් ඔහු ගැනත් ඔහුත් සමඟින් ඇය ගැනත් කතා කරමින් ප්‍රදීගේ නිවස වෙත වැටී ඇති පාර දිගේ දෙදෙනා පයින්ම යන්නට විය.......
ඒ අතර තුර වාරයේ සිදු වූ කතා බහ මීෂාගේ සිත සුවපත් කරන්නට හේතු නොවී යයි කියන්නට බැරි , මීෂාගේ බුම්මන් සිටි මුහුණට එළිය වැටී , ගොළු වී තිබූ කටට වචන ගලමින් තිබුන බැවිනි.
ඔවුන් දෙදෙනා අත් අල්ලා ගෙන නොමැති බැව් සැක හැර දැන ගත් පසු ඔවුනට මීදුම මැදින් නොපෙනී යන්නට ඉඩ හැර තරමක විවේකයක් ලබා ගැනීමට තරම් මගේ සිත ද සංසුන් වී තිබුනි.
-------------------------------
“ මොකක් ද ඒ සද්දේ ?“
“ මොන ........?“
“ ඔය ඇහෙන්නෙ ගිටාර් සද්දයක්....... මයෙ හිතේ ක්ලැරන්ස්ගෙ සිංදුවක් ද කොහෙ ද.....ගෑණු කටහඩකුත් ඇහෙනවා “
------------------------------
තවමත් මීදුමට වැසී ඇති පාරේ මීදුම මැදින් ගිටාර් වාදනය ඇසෙන මානය සොයා යද්දි ක්‍රමයෙන් ළං ළං ව ඇසුනු මිහිරි ගැහැණු කටහඬට , අතරින් පතර එකතු වන මීෂාගේ කටහඬ හඳුනා ගැනීමට මට හැකි විය.
“ සිහින ලොවක් .........තිබුනා...........මතකයි ............“
“ සිහින ලොවින් ..... ආ..........වා......... මතකයි ........“
ආසන තුනේ දිගැති පුටු සෙටියේ දකුණු කොණේ පුටුවෙන් මීෂා වාඩි වී සිටි අතර , එතැනම පුටු ඇන්දේ වාඩි වී සිටියේ ප්‍රදීය.
ප්‍රදීගේ සිහින් ඇගිලි තුඩු ගිටාරයේ එහා මෙහා යන අතර තුරේ , ප්‍රදීගේ දෑසේ ඇහිබැමි ගීතයේ තාලයට උස් පහත් වෙමින් ද ඇගේ දෑසේ බැල්ම ,ඔහුගේ දෑසේ බැල්ම හා වෙලෙමින් ද ගීතය ගලා යන්නට විය........
එය තව දුරටත් බලා සිටිනු නොහැකි බවක් හැඟී ගියෙන් නිවසේ හාත්පසට යොමු කල මා දෑසට හසු වූයේ , කුඩා රවුම් කෑම මේසය මත ආහාරයට ගෙන ඉතිරි වී තිබූ ව්‍යෑංජන පීරිසි , හැදි සහ එක මත එක තැබූ ඉඳුල් පිඟන් දෙකකි.
සෝබරව තිබූ මීෂාගේ මුහුණට එළිය වැටී තිබෙනු දැකීමත් මා දුටු දා සිටම ඔහු ගේ දෑසේ පැලද සිටි කණ්නාඩි අතුරින් දුටු දෑස් වල කාන්තියත් දැක හිත හදාගත් මම ආපසු මීදුම් පාර දිගේ එද්දී ..........ගීතවත් වූ දෙදෙනාගේ ක්‍රමයෙන් වියැකී යන හඬට ප්‍රතිලෝමව මගේ හදවත දුකින් පිරෙන්නට වූයේ ඇයි දැයි නොදැනුන මුත් ඊළඟ කොටසට ප්‍රදී පිළිබඳ වැඩි දුර තොරතුරු එකතු කිරීමට මීෂා ඇමතීමට සිතා ගත්තෙමි.
අප හදවත් ඒ............ නොමියෙන ලෙස බැදි........
ආදරයෙන් පිරුණා........මතකයි
සිතට දැනෙන සුව...........
ගතට දැනෙන .............බව
ඔබ ......ර........හ.......සින්..............
කී....................වා.................මතකයි...................

No comments:
Post a Comment