Saturday, 24 February 2018

ආදර ප්‍රදී 13

ආදර ප්‍රදී 13



මව විසින් විවෘත කර බලා තිබූ ලිපිය නිවසට ලැබෙන්නට ඇත්තේ තමා නුවර ගිය දිනය ආසන්නයේ දීම වන්නට ඇති බැව් ඔහුට විශ්වාසය. එය කියවා ඇති වූ පසු තැවිල්ල , සහ රිදුනු සිත වසර ගණනාවක් ගති වී ගොස් තිබු අද දිනය වන විට ද සිත පුරාම එදින මෙන්ම තැන්පත්වී ඇති බැව් දැනේ. 

ලිපිය ඉතාම කෙටි වුවත් එහි සඳහන් ව තිබූයේ කෙනෙකුගේ ජීවිතය හා බැදී පැවති තීරණාත්මක හමුවකි. 

 සුළු පියා සහ මව සමඟින් ගෙවෙන නිවසේ විසීම දිනෙන් දිනම ගැටළු සහගත වී ඇති බවත් , තව දුරටත් එම නිවසේ ජීවත්විය නොහැකි තරමට තමන්ගේ ජීවිතය අසරණ වී  ඇති බවත් එබැවින් අවසාන විසඳුම ලෙසින් නිවසින් පිටත්ව නුවර පැමිණෙන බවත් , කිසිවෙකුත් නාඳුනන නුවර තමන් හඳුනනා ,  ජීවිතයේ සිටින එකම විශ්වාසවන්තයා  ඔහු පමණක් බවත් හරියටම  එදින උදෑසන දහයට පමණ විත් රැජිණ හෝටලය ඉදිරිපස දී ඇය හමුවන ලෙසත් ලිපියෙන් දන්වා තිබුණි.

ලිපියේ සඳහන් දිනය ඉක්ම ගොස් මසක පමණ කලක් ගතවී තිබූ අතර එම සඳහන් දිනයේ දී තමන් ද සිටියේ එම නුවරම වීමත් , ඇය රැජිණ හෝටලය අසල තමන් එනතෙක් පෙර මඟ සිටිද්දී කිසිවක් නොදත් අමනුස්සයකු ලෙස මිතුරන් හා එක්ව පාඩම් කරමින් තමන් සිටි ආකාරය මතක් වී ඔහුට උහුලා ගත නොහැකි දුකක් වේදනාවක් දැනෙන්නට විය.

ලිපිය පොඩි කර ගත් අතින්ම බිත්තියට තදින් පහර දුන් මීෂා නලල ද බිත්තියේ හප්පමින් නොහඬා හඬන්නට විය.

ඇය නිසා උපන් ශෝකයත් , ඔහු නිසා උපන් ආත්මානුකම්පාවත් , තම මව නිසා උපන් කෝපයත් කැටි කර ගත් හැඟීම් අස්සෙන් නැවත වාරයක් ඇසුනේ ........... “ අම්මට තිබ්බ අම්මෙ මට මේ ගැන කියන්න “ යන්න පමණි.

සිහි එලවා ගන්නා විට ඔහු සිටියේ මිතුරෙකුගේ බෝඩිමේ ය. නිවසින් පිටත් වී ගිය මීෂා නැවතත් ඒ නිවසට පැමිණියේ වසර ගණනාවකට පසු බැව් මම පසුව දැන ගතිමි.

එදා නුවර දී ඇයට කුමක් සිදු වන්නට ඇත් ද, රැජිණ හෝටලය ඉදිරිපිට ඇය කොතරම් වේලාවක් බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින්නට ඇති  ද , තමා ගැන අවසානයේ දී ඇය කුමක් සිතන්නට ඇත් ද, තමන්ට  ලෝකයේ සිටි එකම හිතෛශීවන්තයා ද පිටුපෑ බව ඇයට හැඟෙන්නට ඇති ද. නිකමට හෝ ඇගේ ලියුම ඔහුට නොලැබුන බැව් ඇයට සිතෙන්නට ඇති ද. අවසානයේ දී ඇය කුමක් කරන්නට ඇති ද. කෙසේ හෝ ඇය දැන් කොහෝ හෝ යහතින් සිටිනවා ද?

ඇය ගේ මතුගම  නිවසට ලියූ ලිපි දෙකකටම ඇගෙන් පිළිතුරු නොලැබුනු අතර අවසානයේ දී යැවු තෙවන ලිපියට පිළිතුරු ලෙස පැමිණි ලිපිය ද ප්‍රදී විසින් ලියූවක් නොවිනි. එය ඇගේ මව විසින් ලියන ලද ඉතා කෙටි ලිපියක් වූ අතර , ඇය ගැන තව දුරටත් නොසොයන ලෙසත් , ඇයඉක්මනින්ම විවාහ වීමට තීරණය කර ඇති බවත් එහි ලියා තිබුණි.

එම ලිපියෙන් නොසැලුනු මීෂා  ප්‍රදී අසනීපව රෝහල් ගතව සිටින විට තමන්ට දන්වා එවීමට තරම් සිත් ඇතිව සිටි ප්‍රදීගේ යෙහෙළිය ට ද ලිපි කිහිපයක්ම ලියූ නමුදු ඒ එකකට හෝ පිළිතුරක් ලැබුනේ නැති හෙයින් ප්‍රදී ගැන සෙවීම අත් හලේය. නමුත් ඇගේ ජීවිතයට යම් අභාග්‍යසම්පන්න යමක් සිදු වී නම් එයට වගකිවයුතු එකම කෙනා තමා බව ඔහු දැඩිසේ විශ්වාස කලේ ඇය මුළු ලොවක් හැරපියා ඔහු වෙත පැමිණි දිනයේ දී ඇය මඟහැර ගත් වරද තමන් සතු වීම නිසා ය.

ඇගේ සිහින් කෘශ ශරීරයත් , ඇය ජීවිතයේ විදි වේදනා සියල්ලත් , ඇගේ නිල්මිණි දෑසත් ඔහුගේ මතකට නොනැගෙන දිනක් නොමැති තරම් වූයෙන් ප්‍රදීගේ මැදිහත් වීම නිසාම නවතා දමා තිබූ දුම්බීමටත් , දිනපතා මත්පැන් පානයටත් යොමු වූ මීෂා පුරුද්දක් ලෙස ගංජා සුරුට්ටු ඉරීමටත් යොමු වූයේ විශ්ව විද්‍යාල ජීවිතයේ ලද මහා නිදහස ද උපයෝගී කර ගනිමිනි. 

කිසිදාක උඩ බොත්තම් දෙක තුනක් නොපියවෙන කමීසයක් හැද , දිගු කලිසමකින් හෝ රෑ කෝච්චියේ යනෙන ඇතැම් දිනක සරමකින් ද රබර් සෙරෙප්පු පය ලා මුහුණ පුරා රැවුල වවා වසාගන්නට හදන මුහුණේ දුක පිරි දෑස් සැඟවුනු කණ්නාඩි කූට්ටම් අතරින් ඉදහිට සිනාසෙන ඔහු පෙන්වා “ කවුද මේ , කොල්ලා “ යැයි ඇසූ ඕනෑම කෙනෙකුට ලැබෙන එකම පිළිතුර වන්නේ , “ හොඳ කොල්ලෙක් , එකම වරද ඩේලි බොනේක තමයි. “ 

රැජිණ හෝටලය කහ ඉර ඉදිරිපස ට වී යමෙකු එනතෙක් මේ සුන්දර තරුණයා මඟ බලා සිටිනවා  ඇතැම් දිනෙක සමහරුන්ගේ දෙනෙතට ලක් වේ. ඇය එදා තමා එනතෙක් මෙතැන මෙහෙම බලා සිටින්නට ඇතැයි සිතමින් කල් මැරීම ද ඔහුගේ සිතට යම් සැනසිල්ලක් ගෙනෙනවා වන්නට ඇතැයි එවිට මට සිතේ.

විශ්ව විද්‍යාල ජීවිතයේ ඔහුගේ හොඳකම නිසාම ඔහු වටා නිතර නිතර ගැවසී ගත් විවිධාකාර කෙල්ලන්ගේ අඩුවක් නොමැති වූ අතර ඉන් ඇතැමෙක් ඔහු ගැන ඇතිකර ගත් ප්‍රේමණීය බලාපොරොත්තු සහගත වූ කෙල්ලන් විය. නමුත් ප්‍රදීගේ මතක අතර සෑම දිනකම අග මධුපිරි වීදුරුවට යට කරන මීෂාට තරුණියක් ගැන ඇල්මක් ඇතිවීමට කල්ගත වූ අතර එය ද විශ්ව විද්‍යාලයෙන් පිටත දී අහඹු ලෙස මුණ ගැසුණු තරුණියකි.

දින , සති , මාස අවුරුදු ගණන් ගෙවී යද්දී ඇය ගැන මතකය අමතක වූවා යැයි පැවසීම නිවරදි නොවන නමුත් ඇය ගැන මතකය මතුපිටට ඒමට තරමක් ජීවිතයට නිනව්වක් නොමැති විය. විවාහය , දරුවන් ලැබීම , රැකියාව අතර ගත වී යන කාර්ය බහුල පැය වල දී කාර්යාල මේසයේ යටම ලාච්චුවේ සුරැකිව තිබුනේ ඇය ගැන මතක සටහන් ය. 

ඇය කොහේ හෝ යහතින් සිටිනවා වන්නට ඇතැයි ඔහු බොහෝ විට සිතයි. තමන් දැන් දරු දෙදෙනකුගේ පියෙකු වී ඇති සේම ඇය ද දියණිකගේ හෝ පුතෙකුගේ මවක් වී නුවර රැජිණ හෝටලය ඉදිරිපිට ඔහු එනතෙක් රැදී සිටිද්දී හටගත් සංතාපය අමතක කර සිටිනවා වන්නට ඇත. 

ඔය අතරතුරු දිනක හදිසියේම තම පාසල් මිතුරන්ගේ හමුවකට යාමට මීෂාට ඉඩකඩ ලැබෙන්නේ අහම්ඹයෙකි........

අවසාන කොටස ඊළඟ ට 

Saturday, 17 February 2018

ආදර ප්‍රදී 12

කලින් කොටසට මෙතනින් යන්න

ආදර ප්‍රදී - 12




අගෝස්තුවේ අවසාන සතියේ පැමිණි ලිපියකි. ලිපියේ පිටත අකුරින්ම ඒ ප්‍රදීගේ ලිපියක් බැව් දැන ගත් මීෂාට එතුල වූ දෑ කියවීමට ඇති වූයේ නොඉවසිල්ලකි.

එය ඉතා ශෝකජනක කෙටි ලිපියක් විය. ලිපිය කියවා හමාර වනවාත් සමඟින්ම තෙත් වන දෑස කොතරම් වෙහෙස ගත්තත් වලක්වා ගැනීමට මීෂාට නොහැකි විය.

ප්‍රදී මානසික රෝගියෙකු බවට පත් කරන්නට ඇත්තේ ඇගේ නෑයින් විසින් වන්නට ඇති බැව් මීෂා මේ වන විට සැක උපදවා ගෙන සිටින්නේ ප්‍රදීගේ පියාට අයත් මහ ගෙදරත් තවත් දේපල කිහිපයකත් සුව ඒ වන විටත් විදිමින් සිටියේ ඇගේ නෑදැයින් නිසාය. පියාගේ අභාවයෙන් පසු ප්‍රදී නැවතත් පියා ගේ ගාලු කොටුවේ වූ මහගෙදර පදිංචියට පැමිණීම නොරිස්සූ ඔවුන් ඇය පිස්සියක බවට පත් කරන්නට ඇති බැව් මටද දැන් සිතේ..........

එම නෑදැයන්ගේ ගැරහුම් අපහාස විඳගෙන සිටියත් මේ මානසික වදය සීමා මායිම් ඉක්මවා යන විට දී නැවතත් ප්‍රදී ගේ මව සහ සුළු පියා කරා ඒම හැර ඇයට වෙනත් කිසිදු විසඳුමක් ඒ වන විට පෙනෙන්නට නොතිබුනා වන්නට ඇත. 

අසරණ ප්‍රදී ඉන් ඇඳ වැටී තිබුනේ තවත් අඳුරු අගාධයකට වීම ඇගේ දෛවය වන්නට ඇතැයි සිතා හිත හදා ගැනීම සිදු කර ගන්න මීෂා ඒ වන විට ප්‍රමාද වී වැඩි ය.

ලිපියේ පරිදි ඇය ඒ වන විට තම සුළු පියා ගේ අඩම්තේට්ටම් වලට පමණක් නොව ශාරීරික බලහත්කාරකම් වල ගොදුරක් බවට ද පත්වී තිබුණි.  උස මහත කළු මදාවි සුළු පියාගේ ශරීරය හා පොර බැදීමට තරම් ඇගේ කෘශ සිනිඳු ශරීරය ට ශක්තියක් නැතිවා මෙන්ම කිහිපවාරයක් බන්ධනාගාර ගත වී පැමිණ තිබූ ඔහුගේ චන්ඩි කමට එරෙහි වීමට තරම් හයියක් ඇගේ මවට ද නොතිබුණා වන්නට ඇත.

තම කුඩා බාල සහෝදරයන් සමඟින් නිතරම ගැවසෙන ලෙසත් රාත්‍රී නින්දට යාමේ දී ද කුඩා සහෝදරයන් සමඟින් නින්දට යන්න ලෙස උපදෙස් දීමත් , හැකි ඉක්මනින් ඇයගේ සියළු කරදර වලට සැනසීමක් ලබා දෙනබවට පොරොන්දු දීමත් හැරෙන්නට ඒ වන විට දී මීෂාට කල හැකි කිසිත් නොවීම මීෂාගේ හදවතට ගෙන දුන්නේ වේදනාවකි.

මේ අතර රටේ සිවිල් තත්ත්වය එන්න එන්නට දරුණු වන්නට වීම ද නිසා මීෂා ගේ විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබූ බැවින් ඒ බැව් දන්වමින් ප්‍රදී ට ලියූ මීෂා පිළිතුරු එවන විට නිවසේ ලිපිනයට එවන ලෙසට ඇයව දැනුවත් කරමින් ඇයට ලියූ අතර සියළු ප්‍රශ්න නිරාකරණය වන දිනය වැඩි ඈතක නොවන බැව් පවසමින් ඇගේ සිත නිවාලන්නට ද වෑයම් කළේය.

නමුත් සිදු වූයේ නොසිතූ  දෙයකි. ඒ වන විට ද අවසන් නොවී තිබූ විශ්ව විද්‍යාල විභාගය සඳහා සූදානම් වීම ද කළ යුතු ව තිබූ දෙයකි. විභාග ය පවත්අවන අතර තුර උන්හිටි ගමන් වසා දැමූ විශ්ව විද්‍යාලය නැවත ආරම්භ වන්නේ කවදාදැයි හරියටම පැවසීමට කිසිවෙකුටත් නොහැකි වූවද කොයි මොහොතක හෝ විශ්ව විද්‍යාලය ආරම්භ වූ සැනින් විභාගයට මුහුණ දීමට සිදු වන බැව් නම් මීෂා ඇතුලු පිරිස හොඳින්ම දැන සිටි කාරණාවකි.

එබැවින් නිවසට වී කාලය මැරීමට නොහැකි බැව් අවබෝධ කර ගත් ඔහු තමාගේ නුවර යහළුවෙකු සමඟින් ක්‍රෑම දෑමීමට සියල්ල සුදා නම් කර ගත් අතර , ඔහුට නිතරම ලියන ප්‍රදීව දැනුවත් කිරීමට ද මීෂා අමතක නොකලේය . නමුත් ඔවුන් නැවතී සිටින්නට අදහස් කරන නුවර ස්ථානයේ ලිපිනය ඇය වෙත දන්වා යැවීමට නොහැකි වූයේ එම ස්ථානයේ ලිපිනයක් ඔහුගේ මිතුරාද නොදැන සිටි බැවිනි.

සැප්තැම්බරයේ මැද සතියේ සිට නුවර ට කොටු වූ මීෂා ට වරින් වර ප්‍රදීව මතකයට නැගුන ද ඇයට ලිවීමටවත් ඇය ගැන විපරම් කිරීමටවත් තරම් නිනව්වක් නොලැබුනේ මිතුරන් සමඟින් අධ්‍යයන වැඩ වල නිරත වීමත් එවක පැවති සිවිල් වාතාවරණ තත්ත්වය අනුව ක්‍රියාකාරීව එළි පහලියකට බැස ඇවිද යාමට තරම් වත් සුදුසු පරිසරයක් නොපැවති බැවිනි.

ඔක්තෝම්බරයේ මුල් සතියක නැවත තම නිවසට පැමිණි මිෂාට හමුවූයේ බාගෙට විවෘත කරන ලද තැපෑලෙන් පැමිණි ලිපියකි.

ඒ ලිපි කාගෙන් දැයි ඔබ මෙන් මම ද දැන් හොඳින්ම දැන සිටින පරිදි ඒවා ප්‍රදීගේ ය. විශ්ව විද්‍යාල නිවාඩු සමයේ නිවසට පැමිණ නැවතත් නුවර බලා හැරී ගිය කාලය ආසන්න දිනක ලැබෙන්නට ඇතැයි සිතිය හැකි වූ එම ලිපිය කියවා බැලූ මීෂා ගේ සිත තුල උපන් නේ තදබල කෝපයකි. ඒ ඇය සමඟින් නම් නොව තමා නමට පැමිණි ලිපි විවෘත කර බලා කියවා , අඩු ගනන්නේ දැනුවත් කිරීමක් වත් සිදු නොකර කිසිවක් සිදු නොවුනාක් මෙන් සිටිනා තම මව කෙරෙහි ම උපන් කෝපයකි.

“ අම්මා ..... කවද මේ ලියුම් ආවේ “

“ උඹ නුවර පාඩම් කරන්න ගිය දවස් වල “

“ ඇයි අම්ම මගෙ ලියුම් කැඩුවේ . කැඩුවට කමක් නෑ අඩු තරමේ අම්මට තිබ්බා මට ටෙලිග්රූම් එකකින් වත් මේ ගැන කියන්න..........“

ගැහෙන ඇඟිලි අතරින් ගිලිහී යා නොදී රදවා ගත් ලිපිය තම මව වෙත දිගු කරමින් කෝපය පිටවෙන දෑසින් වෙවුලන දෙතොලින් විමසන මීෂාගේ සිතැඟි මේ යැයි හරියටම පැවසීමට ඔබටත් මටත් නොහැක.

“ ජාතියක් ජන්මයක් නැති එකෙක් කර ගහ ගන්න ද උඹ හදන්නේ ?“

තව දුරටත් ඇය හා වාද කර පලක් නොමැති බැව් වටහා ගත් මීෂා ගුලිකර ගත් ඇදුම් කිහිපයක් බෑගයට ඔබා ගෙන තම නිවසින් පිටවූයේ කෝපය සහ වේදනාවෙන් පිරිගිය දෑසිනි.

ඔහුට මෙතරම් තරහා ගන්නට ප්‍රදී එවූ ලිපිය මව විසින් විවෘත කර බැලීමම  පමණක් හේතුවක් වන්නට ඇතැයි ඔබ සිතනවා ද?

ඉන් එහා ගිය යමක් එම ලිපියේ තිබූ බව ත් , දින කිහිපයක පමාවකින් වැලකී ගිය පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකි වීමත් නිසා මේ අද වන විටද ඔහු සිතින් සිය දහස් වාරයක් කම්පාවට පත්වන බවත් මම හොඳ හැටි දනිමි............

ඇගේ ලිපියේ වූයේ , ඇගේ ලෝකයේ සිටිනා තම විශ්වාසතමයාට ලියූ එකම දයාබර ඉල්ලීමකි. එය ඉල්ලීමකට එහා ගිය ආයාචනයකි. අතීතයට ගියත් යළිත් පිළිසකර කළ නොහැකි තරමේ හදවත පාරවනා අසරණ බවක ආරම්භයකි.....................

ආදර ප්‍රදී 11

ආදර ප්‍රදී 11



අවසානයේ ලියුම් ලැබීම සහමුලින්ම නැවතී මාස ගනනක් ගත වී තිබූ එක් අගෝස්තු මාසයක මුල්  දිනක දී හදිසියේම පැමිණි ලියුමකි. නමුත් ඒ ඇගේ අත් අකුරු නොවූ මුත් ඇය ගැන දන්වා එවා තිබූ ලියුමකි. ලිපිය කියවූ වහා කලබලයට පත් වූ ඔහු යහළුවෙකු ද සමඟින් තකහනියේ සූදානම් වන්නේ කොහේ හෝ යාමට ය .......................කලින් කොටසට මෙතනින් 

ප්‍රදී  ගේ වමට බර අත් අකුරු වෙනුවට වෙනත් ගැහැණු අත් අකුරු වලින් ලියවුනු කෙටි ලිපිය කියවූ වේලාවේ සිටම මීෂා ට අවශ්‍ය වූයේ ලිපියේ සඳහන් දේ සත්‍යදැයි බැලීමටත් වඩා ප්‍රදී ගේ මුහුණ දැක ගැනීමේ  නොයිවසිල්ලකි. 

ලිපියේ සඳහන් වංහුන් අනුව රෝහලේ වාට්ටුවෙන් වාට්ටුවට ගොස් ප්‍රදී නේවාසිකව සිටිතැයි ලියා තිබූ වාට්ටුව අභියස දී මිෂා සමඟ පැමිණි මිතුරාගේ ගමන් වේගය බාල වූ අතර , ඔහු වහා මිෂාගේ අතින් අල්ලා නතර කළේ ය.

“උඹට පිස්සු ද බන් “ ඔහුගේ දෑස් ඒ වන විටද යොමු වී තිබුනේ වාට්ටුවේ අංකය සහ නම සඳහන් පුවරුව වෙතටය.

“ උඹට ෂුවර් ද මේ වාට්ටුවමයි කියල ? “

“ ඔවු බන් යමන් “

ඒ කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකල මීෂා ගේ ගමන නොනැවතුනි.

“ අල්ලල දාපන් බන් .........පිස්සියෙක් නෙ “ මිෂාගේ ගමන නොනවතින බැව් දැන ගත් මිතුරා වේගයෙන් ගොස් ඔහුගේ අත අල්ලා ගත්තේය.

“ උඹට බැරි නම් නිකා හිටපන් “ ඔහු අත තදින් ගසා දැමූ මීෂා , දුකත් , කුතුහලයත් , ආදරයත් මිශ්‍ර වූ හැඟුම් සමුදාය එක මිටට ගුලිකර ගනිමින් , වාට්ටුවේ සිටි නොයෙකුත් ආකාරයේ ගැහැණුන් අතර ඇගේ දිගැටි , මුහුණත් , සුන්දර දෑසත් කොහිදැයි පිරික්සන්නට විය.

කෙසඟ සිරුර තවත් කෙසඟව ගොස් , ඇඳට තබා බැද තබන ලද දෑතත් , ඉන් එක් අතක අපහසුවෙන් මෙන් ඇමිණී තිබූ සේලයින් කටුවත් සමඟින් ප්‍රදී ඇද පුරා ඔහේ වැටී සිටියා ය.

ඇය ගේ ඇඳ වටා ඇගේ ඥාතින් යැයි කිවහැකි පිරිසක් වූ අතර ඉන් කිසිවෙකුත් මීෂා හඳුනන අයවලුන් නොවූ නමුත් පිරිසෙන් ඉදිරියට පැමිණි ගැහැණු ළමයෙකු , ඔහු වෙත තොරතුරු දන්වමින් ලියූ ලිපිය එවුවේ තමා බවට හැඳින්වීමක් කළා ය. ප්‍රදීගේ මුහුණෙන් විඩාබර ගතිය හැරෙන්නට  කිසිදු රෝගී තත්ත්වයක් ‍ නොපෙනුනු නමුදු , ඇය කිසිවෙකුත් සමඟින් කතා නොකරන බැව් පැවසුවේ ද ඔහු වෙත ලිපිය එවා තිබූ ගැහැණු ළමයා යි. 

ඇඳඅසල සිටින්නේ කාගේ කවුදැයි දැන ගැනීමට හෝ ඔවුන් සමඟින් කතා කිරීමට හෝ මීෂා ට අවශ්‍ය වූයේ නැත.

බොහෝ සෙයින් කෘශ වී ඇටට සම ඇලී ගිය එකාතක් බැදීම් බැම්මෙන් නිදහස් කර ගත් මීෂා , ඇය ගේ සවනට ළං ව “ ප්‍රදී....“ යැයි ඇමතූ මොහොතේ , විඩාබර දෑස් දල්වා ඔහු දෑත තුල මැදිව තිබූ ඇගේ ඇඟිලි වලින් ඔහු ගේ ග්‍රහණය තව තවත් වැරෙන් අල්ලා ගනිමින්  වචනයෙන් පැවසිය නොහැකි හැඟූම් සමුදායකින් උපන් කඳුලක් බලාපොරොත්තු දැල් වූ දෑසින් මුදා කෘශ කම්මුල් හරහා ගොස්  හිස තබා තිබූ කොට්ටය තුල ගිලී යන්නට විය.

“ ඔයා ආවේ ඔයාගේ ප්‍රදීව බලන්න ද ?“ ඇය පැවසූ එකම වාක්‍යයයි. කඳුලක් පස්සේ උපන් තවත් කඳුලක් බැගින් ගැලූ කඳුළු වැලක් අවසානයේ දී “ ඔයාට සනීප වෙනකම් මම යන්නෑ ප්‍රදී , මම හැමදාම ඔයාව බලන්න එනවා “ . දෑසින් දෑතින් හා සුසුමින් කෙරුනු ගැඹුරු කතා බව හමුවේ කාලය ගත වී යන බවක් දෙදෙනාටම නොවැටහුනි.

හෙදියක් පැමිණ , රෝගීන් බලන වේලාව ඉක්ම ගොස් ඇති බැවින් මිෂාට වාට්ටුවෙන් පිටවන ලෙස පවසන තුරුම ඇගේ දෑත් ඔහුගේ දෑත් අතර සිරකර ගනිමින් ඔවුන් එකිනෙකා කතා කලේ සුසුමින් හා දෙනෙතිනි.

ඇයගේ කතා බහත් හැසිරීමත් සාමාන්‍ය වූ වහාම ඇය වෙනත් වාට්ටුවකට මාරු කරනා බැවින් නැවතත් ඇය හමුවීමට මෙම වාට්ටුවට පැමිණීම අවශ්‍ය නැතත් පැවසූ හෙදිය , ප්‍රදී ඉක්මනින්ම සුව වනු ඇතැයි පැවසූවේ මීෂා පැමිණී පසුව ප්‍රදීගේ හැසිරීම් සහ කතාවත් ඇගේ පෙනුමත් සාමාන්‍ය තත්ත්වය පැමිණෙමින් තිබෙන බැව් පවසමිනි.

ප්‍රදී ගැන තොරතුරු දන්වමින් තමන්ට ලියනා ලෙසට ප්‍රදී ළඟ සිටිනා , තමාට ඇය ගැන දන්වා එවු ගැහැණු ළමයාට මීෂා පැවසූව ද, ප්‍රදීගේ වාට්ටුවෙන් සමුගෙන නොපෙණී යනතුරුමත් ප්‍රදී ගේ තෙත දෑස් ඔහු වෙතම වූ බවට ලියා යැවීමට තබා , ඇය ගැන කිසිදු තොරතුරක් දන්වා යැවීමට තරම් ඇය කාරුණික නොවූවා ය.

මිෂාගේ විශ්ව විද්‍යාල පළමු වසර අවසන් විභාග සමය වූ බැවින් , ප්‍රදී ගැන උපන් ශෝකයෙන් පීඩිතව සිටින්නට ඔහුට  කාලය නොවුනි , විභාගයත් ප්‍රදීත් අතර එහා මෙහා වන සිත අමාරුවෙන් සමබර කර ගත් මීෂාගේ විභාග සමය නිමවන විට දී ප්‍රදී රෝහලේ නොමැති වූයේ , ඇගේ භාරකරුවන් ඇයගේ ටිකට් කප්පවාගෙන බලහත්කාරයෙන්ම ඇයව කොළඹ රැගෙන ගිය බැවින් බැව් මිෂා දැන ගත්තේ රෝහලේ වාට්ටුව බාර හෙදියක ගෙනි.

ඇය ගැන තොරතුරක් දැන ගනු රිසියෙන් තමන්ට ඇය ගැන දන්වා ලිපිය එවූ ගැහැණු ළමයාට ලිපි කිහිපයක්ම ලියා යැවූව ද ඒවාට කිසිදු පිළිතුරක් නොලැබුන තැන්හි මීෂා සියළු බලාපොරොත්තු අතහැර හිත හදා ගනිමින් සිටියේ ඇය කොහේ හෝ හොඳින් ඇති බවට තම සිත ට එත්තු ගන්වමිනි.

නමුත් , අගෝස්තුවේ අවසාන දිනයක පැමිණි ඇල අකුරු සහිත කෙටි ලිපිය ප්‍රදීගෙනි..................



ඒ ගැන ඊළඟ කොටසින් 

ආදර ප්‍රදී - ආයෙමත් අලුතින්

ආදර ප්‍රදී - ආයෙමත් අලුතින්                                                   රැළි තැබූ සුදු ගවුම් ඇදපු ගැහැණු ළමුන් ‌ගේ රැළි වැටුණු මුහුණු,...